මැතිවරණ උණුසුම මැද මහමඟ මැරුම් කෑ, SF ලොක්කාගේ පියා සහ මව ඇතුළු ඥාතීන්ගේ බැංකු ගිණුම් 32ක වාර්තා අද අධිකරණයට
වෙඩි තබා ඝාතනය කළ සිද්ධි ඇතුළු අපරාධ චෝදනා රැසක විත්තිකරුවකු ලෙස නම් කර සිටින එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහගේ නමින් ඔහුගේ පියාගේ, මවගේ, සහෝදරයාගේ, සහෝදරියගේ, පෙම්වතිය බව කියන කාන්තාවකගේ සහ ඥාතීන් පස්දෙනකු ඇතුළු දස දෙනකුගේ නමින් ඇති බැංකු ගිණුම් පිළිබඳ වාර්තා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 32ක කළමනාකරිත්වය මඟින් අද (06දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එලෙස අදාළ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා අද අධිකරණයට ඉදිරිපත් කරන්නේ අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාවරයා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු තිස් දෙකක කළමනාකාරීත්වයට මීට පෙර ලබාදී තිබූ නියෝගයන්ට අනුවය.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් එලෙස නියෝග කෙරිණි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්. යසරත්න මහතා මීට පෙර සඳහන් කළේ වෙඩි තබා ඝාතනය කෙරුණු එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තා ජීවතුන් අතර සිටියදී මත්කුඩු, හෙරොයින් ඇතුළු විස මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළී සිට ඇති බවට පොලිස් විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබෙමින් පවතින බවයි.
එස්.එෆ්. ලොක්කා එලෙස මත්කුඩු ජාවාරම් කිරීමෙන් උපයා ගත් විශාල මුදලක් ඔහුගේ නමින් ඔහුගේ පියාගේ, මවගේ, සහෝදරයාගේ, සහෝදරියගේ, පෙම්වතිය බව කියන කාන්තාවකගේ සහ ඥාතීන් පස්දෙනකුගේ නමින් ඇති බැංකු ගිණුම් රැසක තැන්පත් කර ඇති බවට පොලිස් විමර්ශන කණ්ඩායම්වලට සැකයක් පවතින්නේ යැයිද අධිකරණයට සැල කළ පොලිස් පරීක්ෂකවරයා ඒ පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා පහත සඳහන් පුද්ගලයන්ගේ නමින් ඇති සියලු බැංකු ගිණුම් පිළිබඳව සවිස්තර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු තිස්දෙකක කළමනාකාරිත්වයට නියෝග කරන්නැයිද අයැද සිටියේය.
ඒ අනුව අද අධිකරණයට ඉදිරිපත් කරන්නේ එස්.එෆ්. ලොක්කා හෙවත් ආර්.ඒ. ඉරෝන් රණසිංහගේ, ඔහුගේ පියා වන ආර්.ඒ. අනුර, මව වන ජේ. එලිසබත් රාණි, සහෝදරයකු වන ආර්.ඒ. අසිත රණසිංහ, සහෝදරියක වන ආර්.ඒ. අනෝජා රණසිංහ, පෙම්වතිය බව කියන තිලිණි නදීෂා වීරසිංහ සහ ඥාතීන් වන සුතාරා චේතුමාලි චන්ද්‍රසිරි, ජේ.එම්. මනෝජ් රංගන අමරසේකර, එම්.ඒ. ධනංජය මල්ලවාරච්චි සහ ඩී.එච්.ඩබ්. චමින්ද කුමාර යන අයගේ බැංකු ගිණුම් පිළිබඳව වාර්තායි.
වෙඩි තබා ඝාතනය කෙරුණු අපරාධ රැසක් සම්බන්ධව චෝදනා ලැබ සිටින විත්තිකරුවකුගේ සහ ඔහුගේ මවගේ, පියාගේ, සහෝදර සහෝදරියන්ගේ, පෙම්වතියගේ මෙන්ම ඥාතීන්ගේ නමින් ඇති බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ලබාදෙන ලෙස උතුරු මැද පළාතේ අධිකරණයකින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු තිස්දෙකකට නියෝග කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.
එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ටී 56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර අටක් එල්ල කර ඝාතනය කළේ පසුගිය අගෝස්තු මස 5 දිනය.
ඒ ඔහු අනුරාධපුර නගරය දෙස සිට අනුරාධපුර බන්ධනාගාරය දෙසට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අනුරාධපුර, දහයියාගම හන්දියේ දුම්රිය හරස් මාර්ගය අසලදීය. එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහට එල්ල කර තිබූ වෙඩි ප්‍රාහාර අටෙන් පහක්ම ඔහුගේ පපුව ප්‍රදේශටත් ඉතිරි වෙඩි ප්‍රහාර තුන ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථයේ ගෑස් ටැංකියටත් ඉන්ජෙක්ටර් පොම්පයටත් නිවැරැදි ඉලක්කය හඳුනා ගෙන එල්ල කිරීමට තරම් වෙඩික්කරුවන් සූක්ෂ්මව ක්‍රියා කර ඇති බව මෙම ඝාතන සිදධිය පිළිබඳව විමර්ශන කරන පොලිස් කණ්ඩායම් තහවුරු කරගෙන තිබිණි.
අනුරාධපුර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි ලංකා ගීගනගේ මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතාගේ අධීක්ෂණය යටතේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්. යසරත්න සහ සැරයන් නීල් (28211) යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් මඟින් අද අධිකරණයට කරුණු දැක්වීමට නියමිතය.
අනුරාධපුර - ආනන්ද කරුණාදාස