බාහිර සමාජයෙන් යලි කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමඟ එළඹෙන 12 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ එළඹෙන 11 වනදා පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළා.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ එම විභාග දෙකම මේ මස දක්වා මීට පෙර කල් දැමුණා.
උද්ගත වූ අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් විභාග සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
විභාග කොමසාරිස්වරයා තවදුරටත් කියා සිටියේ නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සීමා කර ඇති බවයි. නැවත දැනුම් දෙන තුරු දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා තැබෙන බව ද ඔහු කියා සිටියා.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ මානව ශාස්ත්‍ර පීඨයේ අවසන් වසර විභාග නැවත දැනුම්දෙනතුරු කල් දමා ඇති බව එහි උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ ප්‍රකාශ කළා.
එමෙන්ම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අද ආරම්භවීමට නියමිතව තිබූ ශාස්ත්‍රවේදී බාහිර උපාධි තුන්වන වසරේ පරීක්ෂණ ද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි එම විශ්වවිද්‍යාලය නිවේදනය කළේ.