ඉන්දියාව යළිත් කළඹමින් පුද්ගලයින් සිව් දෙනෙකු විසින් අමානුෂික ලෙස සමූහ දූෂණය කළ තරුණියක් අන්තිම ගමන ගිහින්
Friday, 02 October 2020 - 16:14 | Views - 4,182

හින්දු සම්ප්‍රදායට අනුව කුලවතුන්ගේ ස්පර්ශයට පවා නුසුදුසු යැයි සලකනු ලබන කුලහීන තරුණියන් දෙදෙනකු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුලවතුන් විසින් දූෂණය කරනු ලැබ, පසුගිය අඟරුවාදා ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දියානු ජනමාධ්‍ය ඊයේ වාර්තා කළේය.
පළමුවෙන්ම හත්රාස් දිස්ත්‍රික්කයේදී ඉහළ කුලයට අයත් පුරුෂයන් සිවු දෙනකු විසින් සමූහ ලෙස දූෂණය කරනු ලැබූ කුල හීන තරුණියගේ වයස අවුරුදු 19ක් විය. එම සිදුවීමෙන් පසු සති 2ක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇය පසුගිය අඟහරුවාදා දිල්ලි රෝහලේදී ජීවිතක්ෂයට පත් වූවාය.
එදිනම බාල්රාම්පූර්හිදී කාමාතුර කුලවතුන්ට ගොදුරු වීමෙන් මිය ගිය දෙවැනි තරුණියගේ වයස අවුරුදු 22කි.
මෙම අමානුෂික සිදුවීම් ද්විත්වය නිසා එරට සාමාන්‍ය ජනතාව අතර දැඩි නොසන්සුන් වාතාවරණයක් පැනනැඟී ඇත. මෙම සිදුවීම්වලට සම්බන්ධ ස්ථාන අතර පරතරය කිලෝමීටර් 500ක් පමණ වේ.
මීට සම්බන්ධ පැමිණිලි භාරගනු ලැබූ බවත්, බාල්රාම්පූර් දිස්ත්‍රික්කයේදී සිදු වූ දෙවැනි අපරාධය සම්බන්ධයෙන් දැනටමත් සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
අඟහරුවාදා සිදු වූ මෙම මරණ පිළිබඳ පුවත ඉන්දියානු ප්‍රධාන ජනමාධ්‍ය මුලින්ම නොසලකා හැරියත්, සමාජ මාධ්‍ය තුළ බරපතළ ලෙස සංවාදයකට ලක්වීම නිසා ඊයේ ඒ පිළිබඳව වාර්තා පළ කර තිබිණි.
මේ අතර හත්රාස් දිස්ත්‍රික්කයේ මිය ගිය 19 වියැති තරුණියගේ පවුලේ සාමාජිකයන් හමුවීම සඳහා කොංග්රස් පාක්ෂිකයන් පිරිසක් සමඟ ගමන් කරමින් සිටි රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.
මෙසේ සිදු වූයේ යමුනා අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටි ඔවුන් නොයිඩා පෙදෙසේදී උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් නවත්වනු ලැබීමෙන් පසුවයි. ඉක්බිති අදාළ නිවෙස දක්වා පා ගමනින් යෑමට රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි උත්සාහ කළ බවත් එවිට පොලිස් භටයන් රාහුල්ට පොලුවලින් පහරදී බිමට තල්ලු කර දැමූ බවත්, කොංග්රස් පක්ෂයේ ප්‍රකාශක රන්දීප් සුර්ජෙවාලා පැවැසී යැයි ගල්ෆ් පුවත් සේවය වාර්තා කර ඇත.
මියගිය තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එම පොලිසිය විසින් බලහත්කාරයෙන් සිදු කරන ලද බවද හෙළි විය.
උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
Share This Article