මෙරට විශාලතම සුළන් විදුලි බලාගාරය
Thursday, 01 October 2020 - 14:17 | Views - 953

සුළං බලය යොදා ගනිමින් ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගා වොට් 100කට අධික ප්‍රමාණයක් මේ වසර අවසන්වීමට පෙර එක්කළ හැකි බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මෙරට ඉදිවන විශාලතම සුළං විදුලි බලාගාරයවන මන්නාරම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට එක්වෙමින්.
මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 100කට වැඩි ධාරිතාවක් එක් කිරීමේ අරමුණින් මෙම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදිවන්නේ මන්නාරම ප්‍රදේශයේයි.
2015 වසරේදී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය වෙරළ තීරයට සමාන්තරව කිලෝමීටර් 12ක් දක්වා විහිදී තිබෙනවා.
මෙම සුළං විදුලි ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 135ක්.
අක්කර 320ක් පුරා විහිදෙන මෙම භූමියේ සුළං විදුලි ජනන කුලුනු 33ක් පිහිටා තිබෙනවා.
ඉන් ජනනය කිරීමට අපේක්ෂිත බල ශක්තිය මෙගා වොට් 103 ක්.
මෙම බලශක්තිය ඉන්ධන දහනයෙන් ජනනය කරන්නේ නම් වසරකට පරිහරණයට එක්වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් 285 ක් ලෙසයි ගණනය කෙරෙන්නේ.
ඒ අනුව බලන කළ මෙය ඉතා පරිසර හිතකාමී බලශක්ති ජනන ව්‍යාපෘතියක්.
මෙම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරිම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමඟ එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
මෙම විදුලි බලාගාරයේ වැඩ කටයුතු සියයට 80කට වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන් වී ඇති අතර එහි පළමු අදියර යටතේ මෙගා වොට් 30ක පමණ ප්‍රමාණයක් මේ මස අවසන් වීමට පෙර ජාතික පද්ධතියට එක්කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article