ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස යළිත් කල්දමයි
Wednesday, 30 September 2020 - 13:43 | Views - 375

ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 තරගාවලිය ආරම්භය නොවැම්බර් මස 14 වැනිදා සිට 21 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මෙන්ම ක්‍රීඩකයන්ට නිරෝධායනය වීම සඳහා කාලය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
IPL තරගාවලිය නොවැම්බර් මස 10 වැනිදා අවසන් වීමෙන් අනතුරුව එම තරගාවලියට එක්වන ඇතැම් ක්‍රීඩකයන් LPL තරගාවලියට එක්වීම හේතුවෙන් ඔවුන්ට දින 14ක නිරෝධායන කාලයක් ලබාදෙමින් තරගාවලියට එක්කරගැනීමටයි ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවන්නේ.
මේ අතර හෙට පැවැත්වීමට නියමිතව තිබු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන් තෝරා ගැනිම මෙම මස 9 වැනිදා දක්වා කල් දැමීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
LPL තරගාවලියට එක්වන කණ්ඩායමේ 5 හිමිකරුවන් සමගින් හෙට ක්‍රීඩකයන් තෝරා ගැනිම විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටයි නියමිතව තිබුණා.
මේ අතර LPL තරගාවලියට ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයන්ට අවසර ලබා නොදීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් පවසන්නේ LPL තරගාවලිය පැවැත්වෙන කාළ වකවානුවේ දී බංග්ලාදේශයේ දේශීය ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම හේතුවේන් ඊට එරට ප්‍රධානතම ක්‍රීඩකයන් සියළු දෙනා එක්වීම අනිවාර්ය බවයි.
මේ හේතුවෙන් විදෙස් තරගාවලි සදහා එක්වීමට සිය ක්‍රීඩකයන්ට අවසර ලබා නොදීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති අතර ඒ අනුව ශකීබ් අල් හසන් ඇතුළුව බංග්ලාදේශ ක්‍රීඩකයන් LPL තරගාවලියට එක් නොවනු ඇති.
කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය කල් දමා දින කිහිපයක් ගතවන්නට මත්තෙන් මෙම තීරණයට එරට ක්‍රිකට් බලධාරීන් එළැඹීමත් කැපීපෙනෙනවා.
Share This Article