රත්මලානේ රොහාගේ අවසන් කටයුතු අද
Saturday, 26 September 2020 - 11:07 | Views - 785

මීගමුව - කොච්චිකඬේ ප්‍රදේශයේදී පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගිය දේවමුණි හැරල්ඞ් රෝහණ ද සිල්වා හෙවත් රත්මලානේ රොහාගේ මරණය සැමරීමට සූදානම් වන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව අදාළ පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සූදානම් බවයි.
මේ අතර මියගිය රත්මලානේ රොහාගේ අවසන් කටයුතු අද දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ හේතුවෙන් දෙහිවල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම රත්මලානේ රොහාගේ මරණය සැමරීමට සූදානම් වූ කුඩු අංජුගේ සොහොයුරිය ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ දෙහිවල - ගල්කිස්ස නගර සභා පොදු සුසාන භූමියේ පිහිටි කුඩු අංජුගේ බාල සොහොයුරාගේ සොහොනට ඩ්‍රෝන යානාවක් යොදා ගෙන මල් ඉසීමට සූදානම් කර තිබූ බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර, කුඩු අංජු සමඟ වට්ස්ඇප් ඔස්සේ සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ද සිටින බව සඳහන්.
රත්මලානේ රොහාගේ මරණෙන් පසු සතුට සමරන ලෙසට කුඩු අංජු සිය ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර තිබුණා.
ඒ කුඩු අංජුගේ සහෝදරයා රත්මලානේ රොහා අතින් ඝාතනය වී තිබීම හේතුවෙන්.
මේ අතර, ජා-ඇල ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 8ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කටයුතු කර තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොග්ගල සහ ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
එමෙන්ම, අලුත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් ගොඩෙහිතැන්න - දීගල ප්‍රදේශයේදී බෝර 16 ගිනි අවියක් සහ අඩි තුනහමාරක් දිගැති කඩුවක් සමඟ සැකකරුවෙකු සමඟ ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර, ගංජා ජාවාරමට එරෙහි වූ පුද්ගලයෙකුට එම ජාවාරම්කරුවන් පිරිසක් විසින් පහරදී තිබෙනවා.
පහරකෑමෙන් තුවාල ලබා ඇත්තේ මදුරන්කුලිය - කන්දතෝඩුවාව ප්‍රදේශයේ පදිංචි තුන්දරු පියෙක්. ඔහු මේ වනවිට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පහරදීම සිදුකළ පුද්ගලයින් ආරක්ෂා කිරීමට උඩප්පුව පොලීසිය කටයුතු කරන බවට ප්‍රදේශවාසීන් සහ ඥාතීන් චෝදනා කළ ද, පොලීසිය සඳහන් කළේ ගංජා ජාවාරමට එරෙහිවීම හේතුකොටගෙන මෙම පහරදීම සිදුකර ඇති බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි.
Share This Article