පොලිස්පතිවරයාගේ බලතල සීමා වී ඇත්තේ පොලිස් කොමිසම හේතුවෙන් - වැඩබලන පොලිස්පති (වීඩියෝ)
පොලිස් කොමිසම පිහිටුවීම මගින් පොලිස්පතිවරයාගේ බලතල සීමා වී ඇතැයි වැඩ බලන පොලිස්පති සී ඞී වික්‍රමරත්න පිළිගත්තා.
ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.
වැඩ තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ යලි සේවයේ පිහිටුවීමට ඇති බාධා පිළිබඳ විමසීමට වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඊයේ දෙවැනි වරටත් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කැඳවා තිබුණා.
ඔහු සදහන් කළේ එය සුදුසු බවට තමා පොලිස් කොමිෂන් සභාව වෙත නිර්දේශ නිකුත් කර ඇති නමුත් එම කොමිෂන් සභාව එය ප්‍රතික්ෂේප කළ බවයි.
කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න විමසුවේ වැඩ තහනමකට ලක්ව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නැවත සේවයේ පිහිටුවීමත්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ යළි සේවයේ පිහිටුවීම ප්‍රතික්ෂේප කිරීමත් මගින් පොලිස් කොමිසම ස්වාධීනව කටයුතු කර ඇති බවට හැඟී යන්නේද යන්නයි.
පොලිස්පතිවරයා ලෙස තමා යවනු ලැබු නිර්දේශ පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිස් කොමිසම ස්වාධීනව කටයුතු කර ඇතැයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න එහිදී සඳහන් කළා.
කොමිසම යළි විමසුවේ එසේ පැවසීමට හේතුව කුමක් ද යන්නයි.
තමාගේ නිර්දේශ වලට වඩා පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් පොලිස් කොමිසම ස්වාධීන තීන්දු ගන්නා බව සී.ඞී වික්‍රමරත්න ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා.
මෙහිදී ලලිත් අනුරුද්ධ ජයසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහේෂ් කොටුවැල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩිව හඳුනනවාදැයි සී.ඩී වික්රමරත්නගෙන් විමසූ අතර ඔහු පැවසුවේ තමා ඔහුව හඳුනන බවයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි එක්සත් ජාතික පක්ෂයෙන් මහා මැතිවරණයට තරග කර ඇති බවත්, එම පක්ෂයේ මහර ආසන සංවිධායක ලෙස කටයුතු කර ඇති බවත් නීතීඥ මහේෂ් කොටුවැල්ල කොමිසමට පෙන්වා දුන්නා.
නීතිඥ මහේෂ් කොටුවැල්ල සී.ඞී වික්රමරත්නගෙන් විමසූවේ සේවයට වාර්තා නොකර දේශපාලනයේ නිරත වූ එවැනි පුද්ගලයකු යළි සේවයේ පිහිටුවා එදිනම විශ්‍රාම ගැන්වීමට නිර්දේශ නිකුත් කළේද යන්නයි.
තමා එලෙස නිර්දේශ කළ බව සි.ඩී වික්‍රමරත්න පිළිගත් අතර ප්‍රිශාන්ත ජයකොඩි විශ්‍රාම නොගෙන තවදුරටත් සේවයේ කටයුතු කිරීම පිළිබඳව එහිදී කොමිසමේ අවධානය යොමු වුණා.
එහිදී වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වැඩිදුරටත් පැවසුවේ ප්‍රිශාන්ත ජයකොඩි පොලිස් සේවයට සුදුසු නොමැති බව තමා පිළිගන්නා බවත් ඔහු සේවයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය ද දැනුවත් කර ඇති බවයි.
පොලිස් කොමිසම පිහිටුවීම මගින් සිදු කර ඇත්තේ පොලිස්පතිවරයා ශක්තිමත් කිරීමක්ද ? දුර්වල කිරීමක්ද යන්න කොමිසම මෙහිදී විමසුවා.
ඔහු සඳහන් කළේ පොලිස් කොමිසම මගින් පොලිස්පතිවරයා දුර්වල කර ඇති බවයි.
පොලිස්පතිවරයාට, තීරණ ගැනීමේ නිදහස ඇතැම් අවස්ථාවල දී පොලිස් කොමිසම නිසා අහිමිවී ඇති බවත්, ඇතැම් තීරණවලදී පොලිස්පතිවරයාගේ නිර්දේශවලට ඉහළින් කොමිසම ක්‍රියා කරන බැවින් කරුණු දැක්වීමට සිදුවන බවත් වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.
මේ අතර දේශපාලන පළිඟැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කර තිබූ පැමිණිලි කිහිපයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ අදත් කොමිසම හමුවට ගෙන එනු ලැබුවා.