'වන්දි එපා., සාධාරණය ඉටු කරන්න' මහනුවර කඩාවැටුණු මහල් ගොඩනැගිල්ලට යටවී මියගිය අයගේ පවුලේ ඥාතීන් ඉල්ලයි
Tuesday, 22 September 2020 - 15:06 | Views - 1,714

මහනුවර - බූවැලිකඩ ප්‍රදේශයේදී පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් දිවි අහිමි වූ මාස එකහමාරක් වයසැති බිළිඳිය සහ ඇගේ දෙමාපියන්ගේ දේහයන් මේ වනවිට එම ප්‍රදේශයේම අසල්වැසි නිවසක තැන්පත් කර තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු ඊයේ රාත්‍රියේ ඔවුන්ගේ දේහයන් මහනුවර ජාතික රෝහලේ සිට රැගෙන ආ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ අනතුර සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
තවත් මෙවැනි සිද්ධීන් ඇති නොවීමට රජය විසින් පුළුල් මැදිහත් වීමක් අවශ්‍ය බවද ඥාතීන් ප්‍රකාශ කළා.
මහනුවර - බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි කඩා වැටුණු ගොඩනැගිල්ල ඊට පහලින් තිබු තවත් නිවසක් සහ හෝටලයක් මතට කඩා වැටුනේ පෙරේදා අලුයම් කාලයේදියි.
කඩා වැටුනු ගොඩනැගිල්ල දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වන අනුර ලෙව්කේට අයත් වන අතර, ඔහු විසින් සිද්ධිය වූ දින දහවල් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ තම නිවස කඩා වැටී ඇති බවයි.
කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
Share This Article