මහනුවර පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටුණේ නායයාමකින් නොවන බවට තොරතුරු
Monday, 21 September 2020 - 9:20 | Views - 1,288

මහනුවර - බූවැලිකඩ ප්‍රදේශයේදී පස්මහල් ගොඩනැගිල්ල ගිලා බැස කඩාවැටීමට හේතුව නායයෑමක් නොවන බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගොඩනැගිල්ලේ අත්තිවාරම හා ව්‍යූහයේ ප්‍රමිතිය මෙන්ම, භූමියට නොගැලපෙන ඉදිකිරීමක් හේතුවෙන් මෙම ගිලාබැසීම සිදුව ඇති බවට හඳුනාගෙන ඇති බවයි.
එමෙන්ම අදාළ ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ නිම්නයක් මැද බවටද හඳුනාගෙන තිබෙනවා.
එම භූමියට නොගැළපෙන තවත් එවැනි ඉදිකිරීම් ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අවධානය යොමුව ඇති බව සඳහන්.
කඩාවැටීමට ලක්වූ ගොඩනැගිල්ල මීට වසර 15 කට පමණ පෙර සිදුකළ ඉදිකිරීමක්, නවීකරණය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සඳහා නිසි අවසර ලබාගෙන ඇත්ද යන්න සහ දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයාබලන බවත් මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.
මේ අතර ඊයේ සිදුවු ගොඩනැගිල්ල කඩාවැටීමත් සමඟ ඒ අවට නිවාස හතරක පුද්ගලයන් විසිදෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
ඊයේ අලුයම 5 ට පමණ මෙම පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසීමකට ලක්වී ඊට පහළින් පිහිටි තවත් නිවසක් සහ හෝටලයක් මතට ද කඩා වැටී තිබුණා.
කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිටියදී පළමුව සොයාගනු ලැබුවේ මාස එකහමාරක් වයසැති බිළිඳියගේ සිරුරයි.
පසුව අවුරුදු 32 ක් සහ 35 ක් වයසැති මව සහ පියාගේ මළ සිරුරු සොයාගත්තා.
සිද්ධියෙන් මියගිය අයගේ ඥාති කාන්තාවන් දෙදෙනෙකු දිවි ගළවාගනු ලැබුවා.
මහනුවර නගරයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටා ඇති බූවැලිකඩ ප්‍රදේශයේ සංඝමිත්තා මාවතේ පිහිටි මෙම ගොඩනැගිල්ල ඊයේ පස්වරුවේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් නිරීක්ෂනයට ලක් කළා.
Share This Article