දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරන්න ජනපතිගෙන් සැලැස්මක්
Tuesday, 15 September 2020 - 8:43 | Views - 557

දේශීය දියර කිරි අවශ්‍යතාවය සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගු කාලීන සැලැස්මක් දියත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩි දියුණු කර කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාවය පවතින බවටයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ සියයට 40 කට අඩු ප්‍රමාණයක්.
ඉදිරි දශකය තුළ දියර කිරි නිෂ්පාදනය, ඉහළ නැංවීමට පියවර ගන්නා බව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබුණා.
රටේ විවිධ ප්‍රදේශවලට ගැලපෙන කිරිගව ප්‍රභේද හඳුන්වාදීමට අවශ්‍ය පර්යේෂණ පුළුල් කිරීමට රජය අපේක්ෂා කරනවා.
කිරි නිෂ්පාදනය වර්ධනය, අරමුණු කොට ගෙන වතු සමාගම් 15 ක් දායක කර ගනිමින් කිරිගවයින් 15,000 ක් ඇති කිරීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එහිදී සඳහන් කළේ.
කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය පුළුල් කිරීම හා මහා පරිමාණ නිෂ්පාදකයින් අපනයන වෙළඳපොලට යොමු කිරීම පිළිබඳව ද එහිදී වැඩි වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.
බිත්තර, කුකුළු මස් සහ ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 16 ක විදේශ විනිමයක් ඉපයීමට ද අපේක්ෂා කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ඊයේ පැවති එම සාකච්ඡාවට එක්වෙමින් පෞද්ගලික අංශයේ ආයෝජකයන් සඳහන් කළේ.
Share This Article