ආහාර වර්ජනය නිරත වූ රැඳවියනගේ දුක්ගැනිවිලි මානුෂීය නම් අවධානය යොමුකරනවා - බන්ධනාගාර කොමසාරිස්
Monday, 14 September 2020 - 19:58 | Views - 618

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන පොඩි ලැසී, කොස්ගොඩ තාරක, කංජිපානි ඉම්රාන් සහ වෙළේ සුදා ඇතුළු තවත් රැඳවියන් පිරිසක් දින 5 ක් පුරා ක්‍රියාත්මක කළ ආහාර වර්ජනය අද උදෑසන අවසන් කළා.
ඒ අනුව, ඔවුන් උදෑසන ආහාර ලබා ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටින කංජිපානි ඉම්රාන්, කොස්ගොඩ තාරක, පොඩි ලැසී සහ වෙලේ සුදා ඇතුළු රැඳිවියන් 40 දෙනෙකු ආහාර වර්ජනය ආරම්භ කරනු ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දායි.
ඥාතීන් සමඟ දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාව ලබා නොදීම, නඩු සඳහා අධිකරණවලට ගොස් නැවත බන්ධනාගාර වෙත රැගෙන එන අවස්ථාවේදී පරීක්ෂා කිරීම සහ තමන් හමුවට එන නීතිඥවරුන්ට වැඩි කාලයක් ලබා නොදීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමිනුයි මොවුන් මෙම වර්ජනය ආරම්භ කළේ.
කෙසේ වෙතත්, වර්ජනය අතරතුර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කංඡිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට ද රැගෙන ගොස් පසුව යලි බන්ධනාගාරය වෙත ගෙන එනු ලැබුවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය බන්ධනාගාර මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ආහාර වර්ජනයේ නිරවූ එම පිරිස් තම දුක්ගැනිවිලි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේ නමුත්, මානුෂීය කරුණුනම් පමණක් ඒ පිළිබඳව අවධානය යොමුකරන බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිරගත කරන පිරිස් වැඩිවීමත් සමඟ බන්ධනාගාර තුළ තදබදය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ද ඔහු එහිදී කියා සිටියා.
Share This Article