අද සිට යළි ක්‍රියාත්මක වූ මං තීරු නීතිය සාර්ථකද ? (වීඩියෝ)
Monday, 14 September 2020 - 13:52 | Views - 417

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් අද සිට යළි ක්‍රියාත්මක කෙරුණු මංතීරු නීතිය සාර්ථක වූ ස්ථාන මෙන්ම ජනතාව අපහසුතාවට පත්වූ ස්ථාන ද දක්නට ලැබුණා.
අද උදෑසන හයේ සිට 10 දක්වා මෙලෙස මංතීරු නීතිය ක්‍රියාත්මක වුණේ කොළඹට ඇතුලුවන ප්‍රධාන මාර්ග හතරක් කේන්ද්‍ර කරගනිමින්.
බේස්ලයින් මාර්ගයේ නව කැළණි පාලමේ සිට ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට හරහා හයිලෙවල්, බේස්ලයින් හන්දිය දක්වා මෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පොල්දූව මංසන්ධියේ සිට රාජගිරිය ගුවන් පාලම, ආයුර්වේද වටරවුම, ඩී.එස්.සේනානායක මංසන්ධිය, හෝර්ටන් වටරවුම, පුස්තකාල හන්දිය සහ ලිබර්ටි වටරවුම දක්වා මංතීරු නීතිය ක්‍රියාත්මක වුණා.
ඊට අමතරව, අනුලා විද්‍යාලය ආසන්නයේ සිට හයිලෙවල් මාර්ගයේ, බේස්ලයින් මංසන්ධිය, පාක් පාර මංසන්ධිය, තිඹිරිගස්යාය මංසන්ධිය, තුම්මුල්ල වටරවුම, ග්ලාස් හවුස් සහ පිත්තල හන්දිය දක්වා ද මංතීරු නීතිය ක්‍රියාත්මක වුණා.
ගාලුපාරේ මංතීරු නීතිය ක්‍රියාත්මක වුණේ
විලියම් මංසන්ධියේ සිට ඩික්මන් පාර මංසන්ධිය, බම්බලපිටිය, කොල්ලුපිටිය, ගාලුමුවදොර වටරවුම, එන්.එස්.ඒ වටරවුම දක්වා වන මාර්ගයේයි.
අප වාර්තාකරුවන් සඳහන් කළේ පාර්ලිමේන්තු වට රවුමේ සිට කොටා පාර දෙසට සහ ඩී.එස්. සේනානායක මංසන්ධිය අවට මෙලෙස රථවාහන තදබදයක් පැවති බවයි.
එමෙන්ම පෑලියගොඩ සහ කැළණි පාලම අවට කොළඹ - නුවර මාර්ගයේ සහ නුගේගොඩ සිට හයිලෙවල් මාර්ගයේ මෙම රථවාහන තදබදය පැවතියා.
එමෙන්ම දෙහිවල සහ කොහුවල සිට ගාලු පාරට පිවිසෙන මාර්ගද අවහිර වී තිබුණා.
පාර්ලිමේන්තු වටරවුම අසළ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මෙන්ම බස්නාහිර පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද පැමිණියා.
Share This Article