ගිනි ගත් නෞකාව අසළ තෙල් පැල්ලම් ගැන සොයන්න කිමිදුම් කණ්ඩායමක්
Friday, 11 September 2020 - 12:51 | Views - 190

ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදෙන් මතුවූ තෙල් පැල්ලම් පිළිබඳ සොයාබැලීමට නාවික හමුදාවේ කිමිදුම්කරුවන් කණ්ඩායමක් අද යෙදවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ නෞකාවේ ගිනි ගැනීමට ලක්වූ කොටසේ තිබූ යම් ඉන්ධන ප්‍රමාණයක් මෙලෙස මුහුදට එක්වී ඇත්දැයි සොයාබැලීම සඳහා ඔවුන් විමර්ශන සිදුකිරීමට නියමිත බවයි.
ඊයේ දිනයේදී මේ පිළිබඳ සොයාබැලීමට අදාළ කිමිදුම් කණ්ඩායම යෙදවීමට තීරණය කර තිබුණද අයහපත් කාලගුණය හේතුවෙන් එය කල් දැමුණා.
මේ අතර අදාළ තෙල් පැල්ලම් මතට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් ගුවන් යානා යොදාගනිමින් අන්තර්ජාතිකව අනුමත රසායනිකයක් යෙදවීමට පියවර ගත් අතර, අද වනවිට තුන්වරක් එම රසායනිකය අදාළ තෙල් පැල්ලම් මතට යොදා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර පිහිටි කල්මුණේ නගරයට නාවික සැතපුම් 50 ක්, දුරින් ස්ථානගතව පවතිනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ, වෙරළාරක්ෂක බලකායේ, ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සහ ඉන්දීය නාවික හමුදාවේ නෞකා, වෙරළාරක්ෂක යාත්‍රා, අධිවේගී ප්‍රහාරක යාත්‍රා, ටග් යාත්‍රා ගිනිගත් එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාව ආශ්‍රිතව තවදුරටත් මෙහෙයුම්වල නිරතවනවා.
නෞකාවේ ගළවාගැනීමේ මෙහෙයුම් සඳහා පැමිණි විශේෂඥ කණ්ඩායමද තවදුරටත් මෙහෙයුම්වල නිරත අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණයට යටත්ව එම සියලු ක්‍රියාකාරකම් සිදුවන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
එමෙන්ම එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාවේ හටගත් ගින්න නිවා දැමීම සඳහා යොදාගත් ස්ලූරෝ ප්‍රෝටීන් නම් රසායනිකය සඳහා පමණක් රුපියල් ලක්ෂ 18 ක මුදලක් වැය වී තිබෙනවා.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය මගින් අදාළ රසායනිකය ලබාදුන් බවයි එහි සභාපති හා කළමනාකරණ අධ්‍යක්‍ෂ මොහොමඞ් උවයිස් මොහොමඞ් සඳහන් කළේ.
ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාව අවට මුහුදෙන් ලබා ගත් ජල සාම්පල් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඊයේ පස්වරුවේ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදුන්නා.
එහි වාර්තාවද ඉදිරි සතියේදී ලැබෙනු ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
මේ අතර නෞකාවේ කපිතාන්වරයා ගාල්ලට රැගෙන ඒමෙන් අනතුරුව ඊයේ හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබුවා.
කොරෝනා මාර්ගෝපදේශවලට අනුව ඔහු කල්මුණේ සිට ගාල්ලට රැගෙන ඒමේ කටයුතු සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේ.
ගාල්ලට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු පී.සී.ආර් පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහි වාර්තාව අද දිනයේ ලැබීමට නියමිතයි.
Share This Article