රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයෙන් නඩු 8,000 ක් අතරමග - රිමාන්ඩ් තදබදය අවම කිරීම ගැන සොයන්න කමිටුවක්
Saturday, 05 September 2020 - 15:29 | Views - 577

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කරන රැඳවියන්ගේ තදබදය අවම කරගැනීම සඳහා අවශ්‍ය නීතිමය තත්වයන් හා ඊට අදාළ ක්‍රියාමාර්ග සොයාබැලීමට අධිකරණ අමාත්‍යවරයා විසින් සත්පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
සති තුනක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාව ලබාදෙන ලෙසයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි දැනුම්දී ඇත්තේ.
අධිකරණ අමාත්‍යාංශයේ නීති කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරියක වන පියුමන්ති පීරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය නියෝජනය වන පරිදි පත්කර තිබෙනවා.
රිමාන්ඞ් භාරයට පත්වන රැඳවියන්ගේ අධික තදබදය හමුවේ බන්ධනාගාර තුළ හටගෙන ඇති ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් පසුගිය 3 වනදා අධිකරණ අමාත්‍යාංශයේදි විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ සම්බන්ධීකරණයෙන්.
එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්වන රැඳවියන් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් ඇතැම් නඩු ඉදිරියට පවත්වාගෙන යාමේ ගැටළුකාරී තත්වයන් නිර්මාණය වී ඇති බව එහිදී නිරීක්ෂණය වී ඇති අතර, ඊට අදාළ රැඳවියන් තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට ද සිදුව ඇති බව සඳහන්.
එවැනි නඩු 8,000 කට වැඩි ප්‍රමාණයක් පවතින බැවින් ඒ පිළිබඳ අදාළ සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවූ බවයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර තංගල්ල පැරණි බන්ධනාගාර සංකීර්ණය, රඳවාතැබීමේ ස්ථානයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව එය සිදුකර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
Share This Article