ගිනිගත් නෞකාව ශ්‍රී ලංකා වෙරළට ළංවෙයි - පාලනය කිරීමේ මෙහෙයුම් අඛන්ඩව
Friday, 04 September 2020 - 13:30 | Views - 805

සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 25 ක පමණ දුරින් ගැඹුරු මුහුදේ ඇති එම්.ටී. නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකෙරෙනවා.
මෙම නෞකාව නැගෙනහිර වෙරළ දෙසට ඇදෙමින් පවතින අතර, ගින්න පාලනය කිරීම සඳහා නාවික හමුදාව, ගුවන් හමුදාව, වරාය අධිකාරිය, ඉන්දීය නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
නෞකාවේ පසුපස ඇති පාලක මැදිරි කලාපය තවමත් ගිනි ගන්නා අතර, එහි බොරතෙල් ගබඩා කර ඇති කලාපයට මෙතෙක් බලපෑමක් සිදුව නැහැ.
ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර, සිඳුරල සහ රණරිසි නෞකා සමඟින් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා එක්ව තිබෙනවා.
ඊයේ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සෞර්යා නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිඳුරල නෞකාව ආපදාවට ලක්වූ නෞකාවේ දෙපස සිට සිසිලන ආවරණය ලබාදීම සිදුකළ අතර, අද අලුයම් කාලයේ හම්බන්තොට වරායෙන් රාවණා සහ වසභ යන ටග් යාත්‍රා දෙක මෙහෙයුම් සඳහා පිටත්ව ගියා.
ආපදාවට පත්වූ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ටග් යාත්‍රාවක්ද මේ වනවිට ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
එසේම, ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් වන ශෙහාද්‍රි නෞකාවද මෙහෙයුමට අද අලුයම එක්වූ අතර, තවත් ඉන්දියානු වෙරළාරක්ෂක නෞකා දෙකක් අද දහවල් ගින්න නිවීමේ මෙහෙයුම සඳහා එක්වීමට නියමිතයි.
එම මෙහෙයුම් සඳහා එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද පෙරවරුවේ එක්ව තිබූ අතර, ඊයේ දිනයේදීත් එම්.අයි. 17 සහ බෙල් 212 වර්ගයේ යානා දෙකක් ගින්න මැඩ පැවැත්වීම ගුවන් හමුදාව යොදවනු ලැබුවා.
මෙම මෙහෙයුම සඳහා සහභාගි වූ රුසියානු යුද නෞකා දෙක අවශ්‍ය සහයෝගය ලබාදීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ එම මුහුදු ප්‍රදේශයෙන් පිටව ගොස් තිබෙනවා.
බොරතෙල් මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 70,000 ක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ බොයිලේරුවක පිපිරීමක් සිදුවුණා.
ඒ සමඟ නෞකාවේ ගින්නක් හටගත් අතර, එහි සිටි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසි දෙදෙනෙකු මුදාගත්තා.
එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 19 දෙනා ඇතුලුව විසි එක්දෙනෙකු මේ වනවිට නාවික හමුදා නෞකාව වෙත රැගෙන ගොස් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙන්කර තබා තිබෙනවා.
අනතුර හේතුවෙන් තුවාල ලබා සිටි එම නෞකාවේ තුන්වන ඉංජිනේරුවරයා ප්‍රතිකාර සඳහා කල්මුණේ රෝහලට ඇතුළත් කර ඇති අතර, නෞකාවේ සිටි පිලිපීන ජාතික නාවිකයෙකු බොයිලේරු පිපිරීමෙන් මරණයට පත්ව ඇති බව නෞකා කාර්ය මණ්ඩලයේ මූලික තොරතුරු අනුව තහවුරු වී ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ නෞකාවේ ඇතිවූ ගින්නෙන් මෙතෙක් ඉන්ධන කාන්දුවීමක් සිදුව නොමැති බවයි.
මෙම නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත් ඉන් සිදුවන බලපෑම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනයේ සාගර විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය කේ.අරුලානන්දන්ගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ දැනට නෞකාව පවතින ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සුළං සහ දියවැල් බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගමන් කරන බැවින් තෙල් කාන්දුවක් සිදුවුවද නැගෙනහිර වෙරළ කලාපයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවට විශ්වාස නොකරන බවයි.
එමෙන්ම මේ පිළිබඳව කළ විමසීමකදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ නෞකාවේ ඉන්ධන කාන්දුවීමකින් වෙරළ කලාපයට හෝ නැගෙනහිර මුහුදු තීරයට යම් බලපෑමක් සිදුවුවහොත් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වනවිට සිදුකරමින් පවතින බවයි.
Share This Article