ඉන්දියාව යළිත් කළඹමින්, තවත් වෛද්‍යවරියක් කෲර ලෙස ඝාතනය වූ හැටි එළියට
Friday, 04 September 2020 - 9:03 | Views - 592

ප්‍රේමය නමින් දිවි දෙන්නෝ වෙනයි. ප්‍රේමයේ නමින් දිවි නසන්නෝ වෙනයි. ආදරයත් වෛරයත් අතර ඇත්තේ කෙස් ගහක තරම් වෙනසක් බව අපි හිසේ කෙස් ගණනටම අසා ඇති.
එහෙත් එහි දුර්විපාක ඇස් පනා පිටම දකින්නට ලැබෙන්නේ එකී තත්ත්වය භයානක ය.
ඉකුත් අගෝස්තු 18 වැනිදා උදෑසන නිවසින් පිටත් වූ වෛද්‍ය යෝගිතා ගෞතම් සාමාන්‍යයෙන් වෙනදාට නිවසට එන වෙලාව පසු වෙලත් ඇය පැමිණියේ නැහැ. ඒ වන විට ඇය අග්‍රාහි පිහිටි එස් එම් වෛද්‍ය විද්‍යාලයේ සිය පශ්චාත් උපාධිය හදාරමින් සිටියා.
ඇගේ මාපියෝ ඔවුන්ට හැකි සෑම තැනක්ම පීරා ඇයව සෙව්වා. එහෙත් ඈ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගන්නට ඔවුන්ට හැකි වූයේ නැහැ.
බැරිම තැන්හි උත්තර් ප්‍රදේශයේ පොලිසිය වෙත ගිය ඇගේ මාපියන් පැමිණිල්ලක් සිදු කළා.
පොලිසිය ඒ වහාම ක්‍රියාත්මක වුනා. ශිල්පා සොයා ක්ෂණයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ඒ හා සමඟම ඇගේ සොහොයුරා වූ වෛද්‍ය මෝහින්දර් කුමාර් ද පැමිණිලි කර සිටියේ මේ සඳහා ඇගේ පෙම්වතාව සැක බවයි.
එහෙත් අවාසනාවක මහත කොතරම් ද යත් නිලධාරින් සියලුදෙනාගේ අපේක්ෂා භංග කරමින් පැය ගණනක සූක්ෂම සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔවුන්ට යෝගිතා හමුවන්නේ ප්‍රාණය නිරුද්ධ වූ මළසිරුරක් ලෙසිනුයි.
යෝගිතා නම් වූ පියකරු විසි පස් හැවිරිදි වෛද්‍යවරියගේ සිරුර පොලිසිය සොයා ගත්තේ ඇය ඉගැනුම ලැබූ විශ්වවිද්‍යාලයට ආසන්න බිමක් වූ බරෝලි කදේරා හි තිබියදීයි.
ඒ අනුව ඇගේ මරණය වෙනුවෙන් සෘජුවම සැකයට යොමු වූයේ ඇගේ පෙම්වතා වූ විවේක් තිවාරියි. මන්ද මීට පෙර ඇයට ඔහුගෙන් තර්ජන හා විවිධ අඩත්තේට්ටම් සිදුව ඇති නිසායි.
ඇය එදින නිවසින් පිටවීමට පෙර දුරකථනයෙන් අයියාට කියා ඇත්තේ තිවාරි තමන්ගේ උපාධිය අවලංගු කරවන බවට තර්ජනය කළ බවයි.
එසේ කියා සංවාදය නිමා කර පෙම්වතා හමුවීමට නිවසින් පිටව ගිය ඇය ආපසු නොආ බවත්, ඇය රාත්‍රී නවය වන විටත් දුරකථනයට පිළිතුරු නොදුන් නිසා ඇය සොයා නිවසට පැමිණ නොතිබූ බවත් එම නිසා මෙසේ පැමිණිලි කරන්නට ආ බවත් වෛද්‍ය මෝහින්දර් පොලිසිය වෙත දන්වා තිබුණා.
මෙම සිදුවීමට අදාළව කටයුතු කරන වගකිව යුතු නිලධාරියෙකු වූ බබ්ලු කුමාර් පවසා සිටියේ මේ සිද්ධියට අදාළව ලබාගත් සිසීටීවී ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි.
මේ වන විට ඇගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා. ඇගේ අතේ කිසිවෙකුගේ හිසකෙස් රැඳී තිබුණු අතර නියපොතු අස්සේ ද කිසියම් ද්‍රව්‍යයක් රැඳී තිබුණා.
ඒ අනුව ඇය කා සමඟ හෝ පොරබදින්නට ඇති බවට අනුමාන කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ නමුත් යෝගිතාගේ අවාසනාවන්ත මරණයත් සමඟින් නැවතත් උත්තර් ප්‍රදේශ්හි කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය ගැන කතිකාවතක් මතුව තිබෙනවා.
ඔවුන් මීට විවිධ සමාජ ජාලා ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබුණා.
මෙම ලිපිය එරංගා මාපටුන විසින් "මාංචු" පුවත්පතට ලියූ එකකි.
Share This Article