20 වෙනි සංශෝධනයේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා මුද්‍රණය අවසන්
Thursday, 03 September 2020 - 13:10 | Views - 783

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවත් පැය කිහිපයක් තුළ ගැසට් කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඇය කියා සිටියේ මෙම කෙටුම්පත සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් මුද්‍රණය සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට අවසන් කර ඇති අතර, දෙමළ භාෂාවෙන් මුද්‍රණයට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.
මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වාගේ සභාපතිත්වයෙන්.
ජනාධිපති නීතීඥවරුන් වන මනෝහර සිල්වා, ගාමිණී මාරපන, සංජීව ජයවර්ධන, සමන්තා රත්වත්තේ මහාචාර්යවරුන් වන නසීමා කමුර්දීන්, ජී.එච්. පීරිස්, වසන්ත සෙනෙවිරත්න සහ ආචාර්ය ඒ. සර්වේෂ්වරන් එහි සෙසු සාමාජිකයන් වනවා.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි විසින් ඊයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසු ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කෙරුණා.
මෙම කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර පසු සති දෙකක කාලය කාලයක් ගතවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට එය ඇතුළත් කරනු ලබනවා.
ඉන් පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව තුනෙන් දෙකක බහුතර බලයකින් එය සම්මත කරගත යුතුයි.
විසිවන සංශෝධන පනත් කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව නීතිපතිවරයා ඊයේ දැනුම් දී තිබුණා.
ජනාධිපතිගේ ධුර කාලය, පාර්ලිමේන්තුවේ නිල කාලය, ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි වාර ගණන ආදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්මත කෙරුණු යෝජනා නව කෙටුම්පත මඟින් ද වෙනස් නොකෙරෙනු ඇති බව ජාතික පුවත්පත් අද වාර්තා කර තිබුණා.
මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී මේ වනවිට පැවැත්වෙනවා.
Share This Article