අංගොඩ ලොක්කා මියගිය බවට කෙරෙන ප්‍රචාරය ගැන රාජ්‍ය තාන්ත්‍රික අවධානය
Thursday, 23 July 2020 - 12:44 | Views - 676

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා ඝාතනය කළ බවට මෙතෙක් තහවුරු වී නොමැති බව චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
ඒ සම්බන්යෙන් තවදුරටත් කරුණු සොයාබලන බවයි නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ අංගොඩ ලොක්කා ඝාතනය වූ බවට පැතිර යන රාවය, රූපය වෙනස් කර, ඔහු මෙරටට පැමිණීමේ උත්සහයක්දැයි සැක මතුව ඇති බවයි.
කෙසේ වෙතත් විෂ ශරීරගතවී අංගොඩ ලොක්කා ඉන්දියාවේ බැංගලෝර් හිදී මියගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, මත්කුඩු ජාවාරම ඇතුලු දරුණු අපරාධ රැසක් සම්බන්ධයෙන් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.
කළුතර - එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකදී රණාලේ සමයං නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා ඇතුලු පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තායි.
පසුකළකදී ඉන්දියාවට පලාගොස් ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ වරදටද එරටදී අංගොඩ ලොක්කා අත්අඩංගුවට ගෙන තිබුණා.
මේ අතර දරුණු අපරාධ රැසකට සම්බන්ධ බවට හෙළිවී ඇති එහෙත් මේ වනවිට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය සහ රතු නිවේදන ලබාගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කර තිබෙනවා.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සිදුකරගෙන ගිය මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදි සඳහන් කළේ.
මේ අතර කැස්බෑව - ගුරුගම්මාන පාරේ පිහිටි හෝටලයක් තුලදී එහි හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු 2019 වසරේදී අදාළ හෝටලයේ සේවය කළ පුද්ගලයෙකු බවට අනාවරණ වී තිබෙනවා.
මොවුන් දෙදෙනා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ වනවිට හෝටල් හිමිකරු ඝාතනයෙන් පසු රැගෙන ගිය පවුම් 37ක රන් ආභරණ තොගයක්, කුඩා මැණික් ගල් 15ක්, රුපියල් එක්ලක්ෂ 65,000ක මුදලක්, සැකකරුවන් පානය කළ හිස් බියර් බෝතල් දෙකක් මෙන්ම ඝාතනයට ලක්වූ හෝටල් හිමිකරුගේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Share This Article