25 වෙනිදා සිට ETI සහ ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට මහබැංකුවෙන් වන්දි
Wednesday, 22 July 2020 - 12:24 | Views - 454

ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී යන ආයතනවල තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2020.07.25 වැනි සෙනසුරාදා දින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 45ක් මගින් මෙම රක්ෂණ වන්දි මුදල් ගෙවීම් සිදු කෙරනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මෙහි දී එක් තැන්පතුකරුවෙකු සඳහා රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දෙනු ඇති.
ඊ. ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී. එල්. සී. යන ආයතන මගින් තහවුරු කරන ලද සියලු ම තැන්පත්කරුවන්ට/තැන්පතුවල නීත්‍යනුකූල උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මේ වන විට වෙන් කර ඇති අතර මෙම ගෙවීම් ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා.
වන්දි මුදල් සඳහා අයදුම් කිරීමේ දී තැන්පතු සහතික සහ හැඳුනුම්පත් ආදී ලියකියවිලිවල මුල් පිටපත් නිසි පරිදි මහජන බැංකුව වෙත ඉදිරිපත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස අදාළ ආයතන දෙකෙහි තැන්පතුකරුවන්ගෙන්/තැන්පතුවල නීත්‍යනුකූල උරුමකරුවන්ගෙන් ශ්‍රී ලංකා මහබැංකුව ඉල්ලා සිටින්නේ.
Share This Article