පස්සෙ දැන ගත්තෙ ඒකට මගෙ දරුවො ඔක්කොම සම්බන්ධ වෙලා කියලා, එදා රෑ බොහොම සතුටින් ගෙදර ආවා
Tuesday, 21 July 2020 - 12:43 | Views - 475
උපන් දිනයක් කියන්නෙ ජීවිතයට වැදගත් දිනයක්. මොකද අපි ජීවත් වෙන්නෙ උපන්න නිසා. ඒ නිසා හැම කෙනකුටම උපන්දිනය වැදගත් දවසක්.

නමුත් මම මේ දවස ගැන සිතන්නෙ මගෙ ආයු කාලයෙන් තවත් වසරක් ගෙවුණු දවසක් විදිහට. ඒ නිසාම මම උපන් දිනය දවසට අතීතාවර්ජනයක් කරනවා. ගෙවුණු දිවිය අර්ථවත්ද කියල කල්පනා කරනවා. මඟහැරුණු යුතුකම් තියෙනවද මඟ හැරුණු කටයුතු තියෙනවද කියල කල්පනා කරල බලන්න මම මේ දවස යොදා ගන්නවා.

සාදයක්!
මම නම් උපන් දින සාද පවත්වන්න කැමැති නැහැ. ඒත් ඉතින් දරුවො එකතුවෙලා උන්හිටි ගමන් පුංචියට සාදයක් සූදානම් කරනවා.

එහෙම දවසක් මතක් කරමුද?
මීට අවුරුදු කීපෙකට කලින් දවසක ගුවන් විදුලියෙ වසන්ත රෝහණ ගෙදරට ආවා. අමරසිරි අයියෙ අර සම්පත්ගෙ රෙස්ටූරන්ට් එකට එක්කෙනෙක් එනවලු ෂෝ එකක් ගැන කතා කරන්නත් එක්ක. යමුද ගිහින් එන්න කියලා කිව්වා.

වසන්ත කියන්නෙ මා එක්ක නිතර ගමන් බිමන් යන මිත්‍රයා. මගෙ හන්තානට සඳ ප්‍රසංගයෙ නිවේදකයත් එයා. ඉතින් මමත් සූදානම් වෙලා වසන්තගෙ කාර් එකටම නැග්ගා. ටිකකින් අපි සම්පත්ගෙ රෙස්ටූරන්ට් එකට ගියා. යනකොට එතැන ලස්සනට සරසලා.

මම ඇතුළට යනකොටම ‘හැපි බර්ත්ඩේ ටූ යූ තාත්ති’ කියලා මගෙ දරු​ෙවා කියන්න ගත්තා. මෙතන ඉන්නෙ කවදාවත් මගෙ ෂෝ ගැන කතා කරන කට්ටිය නෙවෙයිනෙ කියලා මම වසන්තට කිව්වා. ඒකනෙ අමරසිරි අයියා මමත් දන්නෙ නෑ මෙහෙම දෙයක්. මට සම්පත් කිව්වෙ අමරසිරි අයියවත් එක්කගෙන හැන්දෑවට එන්න කියලා විතරයි.
වසන්තත් කිව්වෙ පුදුමයෙන්

පස්සෙ දැන ගත්තෙ ඒ සර්ප්‍රයිස් පාටියට මගෙ දරුවො ඔක්කොම සම්බන්ධ වෙලා කියලා ඉතින් එදා රාත්තිරියෙ බොහොම සතුටින් ගත කරලා ගෙදර ආවා.

හන්තානට හඳ ප්‍රසංගය කරන දවස්වල අහම්බෙන්වත් උපන් දිනයක් යෙදුණෙ නැද්ද?
එක දවසක් තිබුණා. එදා ප්‍රසංගය තිබ්බෙ කොළඹ විශ්වවිද්‍යාලෙ. විශ්වවිද්‍යාලෙ ළමයි පිරිලා හිටියා ප්‍රසංගය බලන්න. මම මගෙ සිංදු ගණනාවක් කිව්වට පස්සෙ විවේකය .

මෙන්න විවේකය ඉවර වුණාම ප්‍රසංගය සංවිධානය කළ එක්කෙනා වේදිකාවට ඇවිත්.

ඇවිත් කියනවා ‘අද අපේ ගායන ශිල්පී අමරසිරි පීරිස්ගේ උපන් දිනය ඒ වෙනුවෙන් අපි කේක් ගෙඩියක් කපලා ඔහුට සුබපතමු’ කියලා.

ඒ එක්කම මාව වේදිකාවට එක්කගෙන ගියා. වේදිකාවෙ පැත්තක කේක් ගෙඩියක් තියලා වටේට ඉටිපන්දම් පත්තු කරලා මුළු ඕඩියන්ස් එකම නැගිටලා හැපී බර්ත්ඩේ ටූ යූ කියලා තාලෙට ගායනා කරද්දි මම කේක් ගෙඩිය කැපුවා.

මම මෙහෙම දෙයක් හිතලවත් තිබුණෙ නෑ. ඒ නිසා ඒ මොහොත මට සුන්දර මතකයක් ඉතිරි කළා.

අපි පුංචි කාලෙට ගිහින් එමුද?
පුංචි දවස්වල උපන්දිනවලත් ලොකු සාද එහෙම තිබුණෙ නැහැ. එදාට උදේට ගෙදර කිරිබත් උයනවා. තෑගි බෝග ලැබෙනවා. හවසට වට්ටියකට මල් ගොඩාක් කඩාගෙන අම්මත් එක්ක පන්සල් යනවා.

කොහෙ පන්සලටද?
බොරලැස්ගමුවෙ රජමහා විහාරයට. ඒක බොහොම පැරැණි ලස්සන විහාරයක්.තව සමහර දවස්වලට බෙල්ලන්විල පන්සලටත් ගියා.

පන්සලේදී?
අම්මත් එක්ක බුදුගෙට ගිහින් බුදුන් වඳිනවා. පැන් කළයක් අරගෙන බෝධින් වහන්සේ හත් වරක් පැදකුණු කරලා පැන් පූජා කරනවා. චෛත්‍යයට මල් පූජා කරනවා. පහන් වැටට තෙල් දාලා පහන් පත්තු කරනවා.

මේ ඔක්කොම කරන්නෙ මගෙ උපන් දිනේ වෙනුවෙන්නෙ. ඒ නිසා මට ලොකු සතුටකුත් දැනෙනවා.ඔය වෙලාවට පන්සලේ නායක හාමුදුරුවො එහෙම මුණ ගැහුණොත් අතේ පිරිත් නූලකුත් බඳිනවා.

හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරලා හොඳ මිනිහෙක් වගේ ජීවත් වෙන්න කියලා හාමුදුරුවො ආශිර්වාද කරද්දි මං ඒ වචන ඔලුවට ගන්නවා.

උපන් දිනේ දවසක සංගීත භාණ්ඩයක් එහෙම තෑගි ලැබිලා නැද්ද?
එක වතාවක් තාත්තා මට වයලීනයක් තෑගි කළා. හැබැයි ඒ තෑග්ග මට එච්චර හිතට දැනුනෙ නැත්තෙ ඒ වෙනකොටත් තාත්තා පාවිච්චි කරන සංගීත භාණ්ඩ මාත් අතපත ගාන නිසා.
කොහොම වුණත් තාත්තා එදා මට වයලීනයක් තෑගි දුන්නට මට සංගීතය උගන්නන්න තාත්තට එච්චර උනන්දුවක් තිබ්බෙ නැහැ. මාව සංගීත පැත්තට තල්ලු කළේ උනන්දු කළේ මගේ අම්මා.

ඒත් පස්සෙ කාලෙක අමරසිරි පීරිස් දක්ෂ වයලීන වාදකයෙක් වෙනවා. වයලීනෙ වාදනය කරන හැම දවසකම අර උපන් දින තෑග්ගට ලැබුණු වයලීනය මතක් වෙනව ඇති.

මට හිතෙනවා තාත්තගෙ ආශිර්වාදය ඒ වයලීනයෙ තිබුණා කියලා. මම ලංකාවෙ අතිදක්ෂ ගායනවේදීන්ගෙ ජනප්‍රියම ගීත රාශියකට වයලීන වාදනයෙන් දායකවෙලා තියෙනවා. ප්‍රශංසා ලබලා තියෙනවා. වයලීනයක් අතට ගන්න හැම මොහොතකම මට මතක් වෙන්නෙ තාත්තා උපන් දිනේට තෑගි දුන්නු වයලීනෙ.

අමරසිරි පීරිස් කියන්නෙ පන්සලක් හදපු බෞද්ධ උපාසකයෙක්. ඒ පන්සල හදන්න මුල්වුණෙත් උපන් දිනයක්ද?
මගෙ උපන් දිනේ යෙදෙන මේ මාසෙ 21 වෙනිදට මට හිතුනොත් ඒ පන්සල පැත්තෙ ගිහින් එනවා. කොහොමටත් උපන් දින සමරන ඒ ගමේ හැම දෙනාම වගේ උපන් දිනේ දවසට ඒ පන්සලට එනවා. ඒකත් මං සිහි කරන්නෙ බොහොම සතුටින්.

ඒ පන්සල තියෙන්නෙ බෝගල පතල කිට්ටුව. කොටියාකුඹුරෙ අරුග්ගම්මන කන්දක් උඩ තියෙන අක්කර විස්සක විතර පරිසරයක තමයි මේ පන්සල හදල තියෙන්නෙ. හැබැයි මේ කන්දට යන්න ජීප් එකක් ඕනෑ. ඒත් ගමේ ඉන්න වයසක ඈයො පවා පා ගමනින් මේ කන්ද නැගලා පන්සලට යනවා. හැම දවසකම පනහක් විතර එනවා යනවා. පෝයදාට සිල් ගන්න දාහක් විතර එනවා.!

දැන් අමරසිරි අයියාට උපන් දිනේ දාට ආපහු හැරිල බලද්දි පන්සල මතක් කරගන්න පුළුවන්.

ඇත්තටම ඒක ප්‍රීතිමත් මතකයක්.
ඔය ගමේ තරුණයෙක් ඇවිත් මගෙන් ඉල්ලුවෙ ගමේ අයට වැඳ පුදා ගන්නත් එක්ක ඒ ගල මුදුනෙ බුදු පිළිමයක් තැන්පත් කරල දෙන්න කියල විතරයි. දවසක් මම ඔතෙන්ට ගියා. එතැන ලස්සන පරිසරයක් තිබුණෙ. මට හිතුනෙ එතන බුදු පිළිමයක් තැන්පත් කරලා විතරක් මදි. චෛත්‍යයකුත් ඇතුළුව විහාරයකුත් හදන්න ඕනැ කියලා. ඒ කිට්ටුව ගල පහල තිබ්බ ගමේ පන්සලේ හාමුදුරුවන් වැඩම කරවලා ඇහුවාමත් හාමුදුරුවොත් කිව්වෙ ඒ කතාව. ඉතින් මම පන්සල හදවන්න පටන් ගත්තා. දැන් බුදු ගෙයක්, චෛත්‍යයක්, ඝණ්ඨාර කුළුණක් වගේම අලංකාර බුදු ගෙයකුත් ගොඩනගල තියෙනවා. එතන නෙලලා තියෙන පිළිම වහන්සෙත් හරිම මනහරයි. පන්සලට ගියාම නෙමෙයි මතක් කළාමත් හිත නිවෙනවා.
මේ පන්සලට එන දහස් ගණන් දෙනෙක් වැඳලා පුදලා හිත නිවාගන්නව නේද කියලා හිතන එකත් හිතට සතුටක්.

ශාන්ත කුමාර විතාන
ලංකාදීප - සදැල්ල
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top