කොස්ගොඩ තාරකගෙන් බන්ධනාගාර, නිලධාරීන්ට මරණ තර්ජන
Monday, 20 July 2020 - 19:49 | Views - 1,070

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් තුන්දෙනෙකුට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරක නමැත්තා මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එහි නිලධාරින් කණ්ඩායමක් අදාළ බන්ධනාගාර නිලධාරින්ගෙන් අද ප්‍රකාශ සටහන් කර ගත් බවයි බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
කොස්ගොඩ තාරක නමැත්තා ඇතුළු බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙකු පසුගියදා ආහාර වර්ජනයක නිරත වුණේ තමන්ට සිරමැදිරියෙන් පිටත රැඳී සිටීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලමින්.
පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට බන්ධනාගාර කොමසාරිස් - පාලන චන්දන ඒකනායක, බන්ධනාගාර කොමසාරිස් - මෙහෙයුම් තුසිත උඩුවර සහ සහකාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක බූස්ස බන්ධනාගාරයට ගොස් තිබුණා.
එහිදී අදාළ රැඳවියන් සමග මෙම නිලධාරින් වෙන වෙනම සාකච්ඡා කර ඇති අතර, එම අවස්ථාවේදී ‘‘මට තුවක්කු තිබෙනවා. මට මිනිස්සු ඉන්නවා. මගේ ජාලය ක්‍රියාත්මකයි. ඉහළ සිට පහළටම ඝාතනය කරනවා යනුවෙන්’’ කොස්ගොඩ තාරක නමැත්තා මෙම නිලධාරින්ට මරණ තර්ජන කර තිබුණා.
එමෙන්ම, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බන්ධනාගාර ගතව සිටින පොඩි තිලිණ නමැත්තාගේ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ රොඩා සහ නලියා නමැති පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු සමග මිරිහාන කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ 32 සහ 35 යන වයස්වල පසුවන මොවුන් හංවැල්ල - දිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
Share This Article