තම පියාව අමානුෂික ලෙස ඝාතනය කෙරූ අජාසත් පුතුව, ඇප පිට එළියට අරන් ඇවිත්, ඔහු අතින්ම අන්තිම ගමන ගිය මවකගේ ඛේදවාචකය
Friday, 17 July 2020 - 17:12 | Views - 13,594

බදුල්ල දිසාවේ මහියංගනය දඹාන ගම්මානයට පසුගිය 21 වැනිදා පහන් වූයේ ගමම කැළඹූ අනුවේදනීය ආරංචියක් සමඟිනුයි. මහියංගනය දඹාන උල්පත පදිංචිකාරියක් වන හැට දෙහැවිරිදි එම්. ඥාණවතී මහත්මිය සිය නිවස ඇතුළම ඝාතනය කර ඇති බව දැනගත් ගම්මූ වැල නොකැඩී ඇගේ නිවසට එන්න පටන් ගත්තා.
මේ සිද්ධිය මහියංගන පොලිසියට දැනුම් දී තිබුණේ ඥාණවතීගේ දියණියක් විසිනුයි. තොරතුර ලද මොහොතේම එහි පැමිණි පොලිසිය මේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.
පොලිස් නිලධාරින් අදාළ නිවසට යන විට එහි කිසිවකු සිටියේ නැහැ. නිවස අවට පරීක්ෂා කරද්දි නිවසට මීටර් 100ක් පමණ දුරින් ගෙලේ කැපුම් තුවාල සහිත අයෙකු වේදනාවෙන් කෑ ගසමින් සිටින අයුරු පොලිසියට නිරීක්ෂණය වූ අතර 1990 ගිලන් රිය කැඳවූ පොලිසිය තුවාලකරු රෝහල්ගත කිරීමට කටයුතු කළා.
එසේ බරපතල තුවාල ලබා සිටියේ ඥානවතීගේ සොයුරෙකු බවට හඳුනා ගැනුනා.
දෙහිඅත්තකණ්ඩිය අපරාධ විමර්ශනාගාරයේ (සොකෝ) නිලධාරින් ද එහි කැඳවනු ලැබුවා. මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු වූයේ ඉන් අනතුරුවයි. අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා ඥානවතීගේ සිරුර මහියංගන රෝහල වෙත යැවුනා.
පොලිසිය ඥානවතීගේ ඝාතකයා අල්ලා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කළේ ඉන් අනතුරුවයි. ඥානවතිගේ දියණිය ඇතුළු බොහෝ දෙනෙකුගෙන් ඒ මොහොතේම ප්‍රකාශ සටහන් කර ගනිද්දි අනාවරණය වූයේ ඥානවතී මහත්මිය සමඟ දිවි ගෙවූ පුත්‍රයෙකු වන "වාසනා" ආගිය අතක් නොමැති බවයි.
පොලිසිය වාසනා සොයා ඉන් අනතුරුව විමර්ශනය කරද්දි හෙළි වූ ප්‍රධාන කාරණාව වූයේ ඔහු සිය පියා ද මෙලෙසම ඝාතනය කිරීමේ චෝදනාම මත කලක් රක්ෂිත බන්ධනාගාරගතව ඇප මත මුදා හැර ඇති අයෙකු බවයි.
පියාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ මීට වසර 4කට පෙරයි. එම සිද්ධිය ද ප්‍රදේශවාසීන් අතර මහත් කැළඹීමක් ඇති කළා.
'වාසනා' තම පියාගේ ඝාතනයට සැක පිට වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප කොන්දේසි මත නිදහස ලබා යළි නිවසට පැමිණ සිටියදී මවගේ ඝාතනයට ද සැක කෙරුනා.
පියාගේ ඝාතනයට සැකපිට බන්ධනාගාර ගතව සිටියදී ගම්වාසියෙකු, අසල්වැසියෙකු, ඥාතියෙකු හෝ සහෝදරයෙකු පවා ඔහුට ඇප දීමට ඉදිරිපත් නොවූයේ ඔහුගේ හැටි 'ඉවෙන් මෙන්' දන්නා නිසා විය හැකියි.
එහෙත් සියල්ල පරදා දාරක ස්නේහය හදවතේ කකියන්නට වූ හෙයින් තම ස්වාමියා ඝාතනය කළ 'අජාසත්ත පුතුට' ඥානවතී මාතාව ඇප ලබාදෙන්නේ, "ඕකා මට කවදාවත් අතක් උස්සන්නේ නෑ.." යනුවෙන් ඇසූ දුටුවනට පවසමිනුයි.
දෙදහස් දහසය වසරේ මැයි මස 14 වැනි දින උදෑසන හයයි හතළිස් පහට පමණ දඹාන වතුයාය ගම්මානයේ රාත්‍රීයේ හේනේ පැල් රැක නිවසට පැමිණි වාසනාගේ පියා, කැති පහරකින් ඝාතනය වන්නේ මේ ආකාරයෙන්මයි.
කැති පහරින් එලෙස මිය යද්දි වාසනාගේ පියා, එච්. එම්. ගුණතිලකට වයස අවුරුදු 62ක් වුනා.
එදා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂි ලබා දෙමින් මව පවසා තිබුනේ මෙවන් කතාවක්...
"පුතා වසර කීහිපයක් තිස්සේ මානසික ආබාධයකින් පෙළෙනවා. සෑහෙන කාලයක් ඒ සඳහා ප්‍රතිකාර ගත්තා. පසුගිය දවස්වල බෙහෙත් නම් ගත්තේ නෑ. අද 'අපේ එක්කෙනා' හේනේ පැල් රකින්න ගිහින් උදේ ගෙදරට ආවා විතරයි. තේ ටිකකුත් බිව්වා. ඉන් පස්සේ මොනවා උනාද කියලා අපි දැක්කේ නෑ. ගෙදර අපි ඔක්කොම එළියේ හිටියේ. සද්දයක් ඇහිලා අපි ගෙට දිව්වම මහත්තයා බිම වැටිලා හිටියා. අද උදේ ගෙදර දිවවාම කිසිම ආරවුලක් වුනේ නෑ.." සැමියාට සිදු වූ විපත එදා ශෝකයෙන් හා වේදනාවෙන් ඇය පවසා තිබුනා.
ඥාණවතී මාතාව ගම්වාසීන් අතර ප්‍රචලිතව සිටියේ කාටත් ආදරෙන් කතා කරන කරුණාවන්තව කාහටත් සලකන කාන්තාවක් ලෙසටයි. තමන් මෙලොවට බිහිකළ පුතු අතින් තම ස්වාමියා ඝාතනය වන බවත්, තමන් ඇප දී බන්ධනාගාරයෙන් මුදවාගත් පුතුගේ පොලු පහරින් තමන්ට ජීවිතයෙන් සමුගන්නට සිදු වන බවක් ඈට කිසිදිනෙක නොසිතෙන්නට ඇති.
මෙම ඝාතනයට දින කිහිපයකට පෙර, ඇය මහියංගණ, කෙසෙල්පොත ප්‍රදේශයේ කම්මලකින් කැත්තක් මිලදී ගෙන නිවසට ගෙනාවා.
වාසනා එය දැක කැත්තට මිටක් දැමීමට මවගෙන් එය ඉල්ලා සිටියත්, වාසනා ගේ මව පෙර අත්දැකීම් නිසාම කැත්ත පුතුගේ අතට පත්වීම වළක්වා ඇය විසින් කැත්තට මිටක් දමා අල්මාරිය පිටුපස පුතුට හසු නොවන ආකාරයෙන් සඟවා තැබුවා.
පසුගිය 20 වැනි දින රාත්‍රීයේ ඥානවතී මහත්මිය ඇගේ සහෝදරයාත් වාසනාගේ සහෝදරිය හා ඇගේ කුඩා දරුවා සමඟ නින්දට යන විට වේලාව රාත්‍රී දහයට ආසන්න වුනා.
වාසනා ඥානවතීගේ නිවසට යාබද වී මෝලේ කාමරයක නින්දට ගියා.
අළුයම හතරට ආසන්න වෙත්ම හිටි හැටියේ අවදි වූ වාසනා උමතුවෙන් මෙන් නිවස වෙත දිව ගොස් දොර අරින ලෙස සිය මවගෙන් ඉල්ලා කෑ ගසන්නට වුනා.
"පුතේ තාම එළිය වැටිලා නෑ. පුතා ගිහින් නිදා ගන්න.." ලෙස ඥානවතී වාසනාට කොතෙකුත් පැවසුවත් වාසනා ඒ පිළිබඳ තැකීමක් කළේ නැහැ.
ගත වූයේ සුුළු මොහොතක්. වාසනා නිවසේ ඉදිරිපස ජනේලයට ගසා තිබූ ලී කැබලි වැරෙන් ඇඳ ගලවා නිවසට ඇතුළු වී මව නිදා සිටි කාමරය වෙත ගොස් දහවල මිට දැමූ කැත්ත ඉල්ලා මව සමඟ දබර වුනා.
"පුතේ ඒක මේ හදිසියේ හොයන්න නෑ. පුතා මොනවද මේ වෙලාවේ ඇහැරගෙන කරන්නේ.... යන්න ගිහින් නිදාගන්නැ..."
මව වාසනාට කොතෙකුත් පැවසුවද, වියරු වැටී සිටි වාසනා ඒ ආසන්නයේ ඉදිකෙරෙමින් පවතින නාන කාමරය මුල්ලේ තිබූ පරණ කැති මිට අතට ගත්තේ වියරුවෙන් මෙනි. ඒ සමඟම ඥානවතීගේ හිසට ඉන් පහර පිට පහර වැදුනා.
මව සමඟ නිදා සිටි සහෝදරිය වාසනා වෙත දෑස් යොමු කරද්දී, සිදුවීමට යන විපැත්තිය ක්ෂණයකින් දැනගත් ඇය එම කාමරයේ ජනේලයට ගසා තිබූ ටකරම 'විදුලිය වේගයෙන්' කඩා ඉවත් කරගෙන සිය කුඩා දරුවා රැගෙන නිවසින් එළියට පැන ගිය නිසා ඔවුන් දෙදෙනාගේම ජීවිත බේරුනා.
වාසනාගේ සොහොයුරිය එච්. එම්. අයිරාංගනී ගුණතිලක මහත්මිය කඩිනමින්, මේ සිදුවූ විපැත්තිය පිළිබඳ පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත ඇමතුමක් ලබා දෙමින් මහියංගනය පොලිසිය දැනුවත් කිරීමෙන් පසු, වහාම ක්‍රියාත්මක වූ මහියංගණ පොලිසියේ නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.
පොලිසිය නිවසට පැමිණිමත් සමඟම පැන ගොස් සිටි සහෝදරිය හා දරුවා නිවසට පැමිණියා.
මවගේ ඝාතනයෙන් පසු පලා ගිය වාසනා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හතරක් දඹාන ගම්මානය පුරා මෙහෙයුම් දියත් කළා.
වාසනා ගමේ පිහිටි හේනකට ගොස් "මට බඩගිනියි. කන්න මොනා හරි හදා දෙන්නැයි" කියා ඉල්ලීමක් කරද්දි පැල් රකිමින් සිටි ගම්වැසියෙක් ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට සුදානම් වෙත්ම වාසනාගේ මල්ලේ ලේ තැවරුනු පිහිය දැක කුකුසක් ඇති වුනා.
ඒ හේතුවෙන් ඔහු කෑම ප්‍රමාද කරමින් වාසනාගෙන් විස්තර දැන ගැනීමට උත්සහා කළා.
කෙමෙන් හිරු උදාවෙද්දි ගම පීරමින් සිටි පොලිස් නිලධාරින් වාසනා සිටි හේන් පැල් කොටයට පැමිණියා.
චකිතයකින් තොරව නිලධාරින් ඔහු හා කතා කරද්දි වහා ක්‍රියාත්මක වූ නිලධාරින්ට ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වුනා. ඒ අනුව මව මරා පලා ගිය අජාසත්තයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගත වූයේ පැය දෙකකට ආසන්න කාලයක් පමණයි.
අත්අඩංගුවට ගත් වාසනා නොහොත් සමන් ගුණතිලක ගැන ඔහුගේ සහෝදරිය වන එච්. එම්. අයිරාංගනී ගුණතිලක පොලිසියට සාක්ෂි ලබා දුන්නා.
වාසනා මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ලබන අයෙක් බවට පවුලේ ඥාතීන් විසින් පවසා තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුනා. සමන්ගේ අනෙක් සහෝදරයාද මානසික රෝගයකින් පෙළීම හේතුවෙන් මහියංගණ පොලිසිය මැදිහත්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු මානසික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළා.
රංජිත් කරුණාවීර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියකි...
Share This Article