අනියම් බිරින්ඳැවරුන් පිරිවරාගෙන, තමන්ගේ පුංචි දියණියවත් අඹුකමට ගන්න හැදූ කන්දේ සුසන්ත පරලොව යැවූ හැටි
Friday, 17 July 2020 - 8:59 | Views - 3,261
මොරවන අලපලාදෙණිය ඊදඩුකිත මාරළුහේන අංක 343/සී/1 ලිපිනයේ නිවස ඉදිරිපට පදිංචි පුද්ගලයෙකු ගෙල ප්‍රදේශයට එල්ල වූ පිහි පහර සහිතව වැටී සිටින බවට පසුගිය 26 වැනිදා උදේ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලැබුණා.
 
මෙම ලිපිනය අයත් වන්නේ මාතර පොලිස් කොට්ඨාසයේ මොරවක පොලිස් වසමටයි. ඒ අනුව 119 අංශය මේ බව මොරවක පොලිසියට දැනුම් දුන්නා.
 
දුරකථන ක්‍රියාකරු මෙම සිද්ධිය ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් අතර ඔහු අපරාධ අංශයේ ස්ථානාධිපති කැඳවා අපරාධය සිදුවූ ස්ථානයට යන ලෙස දැනුම් දුන්නා.

ඔවුන් යන විටත් තුවාලකරු නිවස ඉදිරිපිට වැටී සිටියා. ඔහුගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල තිබෙනු පොලිස් කණ්ඩායමට නිරීක්ෂණය වූ අතර ඒ වන විට ඔහු මිය ගොස් සෑහෙන වේලාවක් ගත වී ඇති බව ද වැටහුණා.
 
මොහු කවුද කුමන හේතුවකට ඝාතනය කළාද යන්න පොලිසයට ගැටළුවක් වුනා.
 
"මේ කන්දේ සුපර්ස්ටාර් නේ.."
 
එතැනට ආ පිරිස මරාදමා ඇති අය ගැන එසේ හෙළි කළා.
 
දැන් පොලිසියට ඇති ගැටලු ඉතා බැරැරෑම් ඒවා වුනා.
 
විමර්ශන කළ ඔවුන්ට තවත් තොරතුරක් ලැබුණා. ඒ මොරවක මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට විරුද්ධව නඩත්තු නඩුවක් පවතින බවත් එම නඩුව 26 වැනිදාට යෙදී ඇති අතර නඩුවට යාමට කලින් ඔහු මරා දමා ඇති බවයි.
 
මේ අතර ඝාතනය වූ පුද්ගලයාගේ වතගොත මෙන්ම හැසිරීම් රටාව ගැනද සොයා ගැනීමට පොලිසියට හැකි වුනා. කොටපොලගේ සුසන්ත ප්‍රේමරංජන වන මොහු වෘත්තියෙන් පෙදරේරුවෙක්. වයස අවුරුදු හතළිස් එකක්. විවාහකයෙකු වූ මොහු දෙදරු පියෙක්.
 
මොහුට අන්වර්ථ නාම දෙකක් තිබුණා. එකක් වූයේ කන්දේ සුසන්තයි. අනෙක් නම කන්දේ සුපර් ස්ටාර්. පළමු විවාහයට අමතරව මොහුට අනියම් බිරින්ඳැවරුන් කිහිප දෙනෙක්ම සිටියා.
 
පළමු කසාදයෙන් මොහුට දරුවන් දෙදෙනෙක් සිටියා. බිරිය අතහැර වෙනත් කාන්තාවක් සමඟ පවුල් කෑ මොහුට ඒ කාන්තාවගෙන්ද දරුවෙන් සිටිනවා.
 
මොහුගෙන් නඩත්තු ඉල්ලා නඩුවක් ගොනු කර තිබුණේ එම අනියම් බිරියයි.
 
මොහු පළමු බිරිය එනම් නීතියෙන් විවාහ වී සිටින බිරියගෙන් දික්කසාද වීම සඳහා මොරවක මහේස්ත්‍රාත් අධීකරණයේ නඩුවක් ගොනු කර තිබුණා. එම නඩුව ගොනු කිරීමට අවශ්‍ය මුදල් බැඳ තිබුණේ සිරුර හමුවීමට පෙර දිනයේ යි. එනම් මොහු ඝාතනය වූ බවට සැලකෙන විසි පස් වැනිදා යි.
 
විවාහක බිරිය ද මොහුට විරුද්ධව නඩත්තු නඩුවක් ගොනු කර තිබුණා. එහෙත් මොහු ඇය සමඟ යළි සමඟි වීම නිසා එය ඉල්ලා අස් කරගෙන තිබුණා.
 
ඒ අනුව පොලිසියට තවත් ගැටළුවක් මතු වුණා. ඒ මොහු මේ බිරින්ඳැවරුන් දෙදෙනා සමඟම හොර රහසේ සම්බන්ධතා පවත්වමින් දික්කසාද නඩු පැවරීම මෙන්ම නඩත්තු ගෙවන්නේ කුමන කරුණක් සඳහා ද යන්නයි.
 
එනම් මොහු පළමු විවාහයේ බිරියගෙන් දික්කසාද වීමට නඩුවක් ගොනු කර තිබෙනවා. ඇය මොහුගෙන් නඩත්තු ඉල්ලා නඩුවක් පවරා ඇති අතර එය ඉල්ලා අස් කරගෙන ඇත්තේ යළි මිතුරු වීම සඳහා යි.
 
අනියම් බිරියට නඩත්තු ගෙවයි. එහෙත් ඇය සමඟ ද මොහු කල් ගෙවනවා. මේ උභතෝකෝටික ප්‍රශ්නවලට පිළිතුරු සොයන අතරේ පොලිසිය තවත් කරුණක් හෙළි කර ගත්තා. ඒ.. මොහු මරා දමා තිබුණේ මොහු දැනට තාවකාලිකව පදිංචිව සිටින නිවස ඉදිරිපිට බවත්, මෙම නිවසේ හිමිකරු අපරාධ රැසකට සම්බන්ධ අයකු බවත් ඔහු සැඟවී සිටින බැවින් පොලිසිය ඔහු ඇල්ලීම සඳහා සොයමින් සිටින බවයි.
 
එම පුද්ගලයා ප්‍රදේශය හැර පලාගොස් සිටින නිසා ඝාතනය වූ අය මෙම නිවසේ නිස්කලංකව කල් ගෙවා ඇති තඅර වරින් වරි අනියම් බිරියගේ නිවසේ ද කල් ගෙවා තිබෙනවා.
 
ඒ අයුරින් මෙහු ගැන හෙළි වුවත් ඔහු කවුදැයි සොයා ගැනීම ලේසි වුනේ නැහැ.
 
මේ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යෙදවූ අතර ප්‍රදේශවාසීන්ගෙන් ද තොරතුරු ලබා ගත්තා. ඝාතකයා පිළිබඳ අශෝක මහතාට තොරතුරක් ලැබෙන්නේ ඔය අතරයි. ඒ පුද්ගලික ඔත්තුකරුවෙකුගේ මාර්ගයෙන්.
 
පොලිසිය මුලින්ම කළේ මෙම සැකකරුගේ බිරිය හා දරුවන්ගේ තොරතුරු විමසීමයි. ඒ ඝාතනය වූ පුද්ගලයා ඔවුන් හොඳින් දැන සිටි නිසායි. මීට මාස කිහිපයකට පෙර සැකකරු ලෙස සැලකෙන පුද්ගලයාගේ නිවසේ බිත්ති කපරාරුව ගසා තිබුණේ මිය ගිය සුපර්ස්ටාර්ය. මේ කටයුත්තත් සමඟ මිය ගිය අය මේ පවුල සමඟ දැඩි හිතවත්කමක් ගොඩ නඟාගෙන හිටියා.
 
මසක පමණ කාලයක් මේ නිවසේ වැඩ කළ මොහු වැඩ අවසන් වූ පසුත් එහිම කල් ගෙවීමට මඟ පාදගෙන තිබුණා. ඒ විවාහක බිරිය තමා සමඟ අමනාප බවත්, දෙවන බිරිය අමනාප බවත් කියමිනුයි.
 
ටික දිනකින් මොහු අනියම් බිරියගේ නිවසට ගියත් නිතර මෙම නිවසට යාම් ඒම් කිරීමේ පසුබිමක් සැකසී තිබුණා.
 
ඔහුගේ වැදගත් සියල්ලම තිබුනේ මේ නිවසේ යි.
 
මේ කරුණු සියල්ල සොයා ගත් පොලිසියේ ඊළඟ පියවර වූයේ මොහු අවසන් වරට මේ නිවසට පැමිණි දිනය සොයා ගැනීමයි. ඒ අනුව හෙළි වූයේ ඔහු අවසන් වරට මේ නිවසට පැමිණ ඇත්තේ අප්‍රේල් මස 29 වැනිදා බවත් ඒ උසාවි යාමට තිබෙන බැවින් යතුරු පැදිය රැගෙන යාමට බවයි. එදින මෙම පවුලේ දියණිය එනම් සැකකරුගේ 14 හැවිරිදි දියණියට මොහු ලිංගික අතවරයක් කර ඇති බවට මෙම ඝාතනයට දින කිහිපයකට පෙර දියණියගේ මව පියාට පවසා තිබෙනවා.
 
ඒ අනුව ලැබුණ තොරතුර සනාථ වන ලකුණු පහළ වන්නට පටන් ගත්තා. සුපර් ස්ටාර් මරා දමන්නට ඇත්තේ මේ දියණියගේ පියා වන දංගලකුරුඳු අජීත් බව තහවුරු කරගත්තා. පොලිසියේ ඊළඟ පියවර වූයේ මොහු අත්අඩංගුවට ගැනීමයි.
 
මොහුගේ රැකියාව කුරුඳු තැලීමයි මොහු ඒ වන විට රුවන්කන්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක රැකියාව කරමින් සිටියා. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත් අතර ඝාතනයට උපයෝගී කරගත් බවට සැක කුරුඳු ගස් කැපීමට උපයෝගී කරගන්නා කැති දෙකක් ද සොයා ගැනුනා. මොහු 47 හැවිරිදි තිදරු පියෙක්. යුද හමුදා පාබල හමුදාවේ වසර 12ක් සේවය කිරීමෙන් අනතුරුව විශ්‍රාම ලබා මේ වන විට ඔහු සිය ඉඩකඩම්වල වගා කටයුතු ද ඒ අතර කුරුඳු තැලීමේ ද නිරතව සිටියා.
 
සුපර් ස්ටාර් ඝාතනය කිරීම් මුල් වූ කරුණද ඔහු එකිනෙක හෙළි කරන්නට වුනා.
 
"මම කන්දේ සුසන්ත මාස පහක පමණ කාලයක සිට හඳුනනවා. මගේ නිවසේ කපරාරුව ගැහුවේ එයා. මගේ නිවසේ වැඩ අවසන් වෙලත් මාසයකට ආසන්න කාලයක් අපේ ගෙදර හිටියා. මේ අතරතුර දෙවන බිරිඳ එහේට එන්න කියනවා කියලා එයා එහේ ගියා. ඒ ගිහිල්ලා ටික දවසකින් මගෙන් සල්ලි ‍ණයට ඉල්ලුවා. දෙවන නෝනට බබෙක් ලැබෙන්න ඉන්නවා, ඒ දරු ගැබ නැති කරන්න කියලා. ඔය අතරතුර අවශ්‍යතාවලට මගේ යතුරුපැදිය පවා අරගෙන යනවා.."
 
"මෙහෙම ඉන්නකොට පසුගිය අප්‍රේල් 29 වැනිදා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩත්තු නඩුවට යන්න බයිසිකලය අරන් ගිහින් තිබුණා. ඒ බයිසිකලය ගෙනිහින් නැවත ආපු වෙලාවේ මගේ දියණියට මේ පුද්ගලයා කරදරයක් කරලා තියනවා. ඒ බව මට බිරිඳ කිව්වේ මේ මාසේ 25 වැනිදා. ඊට පෙරත් දිගින් දිගටම දියණියගේ දුරකථනයට මෙයා කෝල් දෙනවා. මම ඊට පස්සේ සිම් එක අයින් කරලා වෙන සිම් එකක් දාලා දුන්නා.."
 
"ඔය අතරතුර නෝනගේ ෆෝන් එකට කෝල් දෙනවා දුවට දෙන්න ෆයිල් වගයක් තියනවා ගන්න කියලා. මේ ආකාරයෙන් දිගින් දිගටම දුරකථන ඇමතුම් දෙනවා, මිස් කෝල් ගහනවා. මේ නිසා මේ කතාව ඇත්තද අහන්න මම පහුගිය 25 වැනිදා රාත්‍රී දංගල මගේ නිවසේ ඉඳලා කිලෝමීටර් 2ක් පමණ දුරක් ගෙවාගෙන සුසන්ත ඉන්න නිවසට ගියා. එතකොට වෙලාව රෑ 9 - 10 අතර ඇති. මම සුසන්තගේ නිවසට යනකොට දොර වහලා තිබුණා. මම කතා කළාම දොර ඇරගෙන එළියට ආවා.."
 
"මම ඇහුවා දියණියට කරලා තියෙන අපරාධය ගැනත්, දුරකථන ඇමතුම් දෙන එක ගැනත්, ඒවා බොරු බව එයා කිව්වා. පසුව සුසන්ත කුස්සියට ගියා. මම පසුපසින් ගියා. ඔහු කුස්සියට ගිහින් පිහියක් අරන් මට ගැහුවා. මට වැදුනේ නෑ. ඊට පස්සේ ගේ පිටුපස දොරෙන් එළියට බැහැලා ඉදල අරගෙන මට ගැහුවා. පස්සේ මම ඉනේ සඟවගෙන ගිය කැත්ත අරගෙන කොටාගෙන කොටාගෙන ගියා. මට මතක එච්චරයි.."
 
"ඒ ආසන්නයේ තිබුණු දොළකින් කැත්ත සෝදලා මමත් මුහුණ කට සෝදගෙන ගෙදර ආවා. ගෙදර ඇවිත් ලේ ගෑවිලා තිබුණු ටීෂර්ට් එකයි කලිසමයි සෝදලා දාලා මම නිදා ගත්තා. 26 වැනිදා මම නෝනත් එක්ක ගියා පිටබැද්ද මගේ ඉඩමේ තේ දළු කදඩන්න. සුසන්තගේ පවුලේ ඉන්නවා සමෘද්ධි නියාමක වරියක්. ඒ මිස් මට කියලා තිබුණා සුසන්ත ගෙදරට ගෙන්න ගෙන ආශ්‍රය කරලා ප්‍රශ්නයක් වුනු දවසට අපිට මොනවත් කියන්න එපා කියලා.."
 
"එහෙම කියද්දිත් තමයි මම සුසන්තව ආශ්‍රය කළේ. අවසානයේ මගේ දියණියට මෙහෙම අපරාධයක් කළ බව දැනගන්න ලැබුණම මට පුදුම වේදනාවක් තරහක් ඇති වුණා. මම නෙවෙයි, මේ ලෝකේ ඕනෑම තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවෙකුට කරදරයක් වෙනවා බලන් ඉන්න බැහැ. ඒ වගේම තම ලෙයින් උපන් දියණියට කරදරයක් කරපු එකෙක්ට මේ ලෝකයේ ජීවත් වෙන්න දෙන්නත් හොඳ නැහැ.."
 
"ඒ නිසා මම ඊදඩුකිත ඇතුළු අවට ප්‍රදේශය කාන්තාවකට දියණියකට නිදහසේ ඇවිදින්න පුළුවන් තත්ත්වයකට පත් කළා. ඒ ගැන මට සතුටුයි... මම කියන්නේ මේ වගේ තිරිසනුන් සමාජයෙන් අයින් කරන්න ඕන. එහෙම නොවුණොත් හෙට දවසේ ඔබේ දියණියටත් මේ තත්ත්වය උදා වේවී.."
 
මෙම පියාගේ තීරණය හරිද වැරදිද යන්න අපිට තීරණය කළ නොහැකියි. අධිකරණය කරුණු විමසා බලා එයට ඉදිරි කාලයේදී විසඳුම් ලබා දෙනු ඇති.
 
මේ වන විට සැකකරුගේ දියණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අජිත් වික්‍රමආරච්චි මොරවක අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
 
ඒ. පී. දයාචන්ද්‍ර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක්...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top