රසිකයින් සහ සහෘද රංගන ශිල්පීනියන් කම්පාවට පත් කරමින් කොරෝනාවට බිලි වූ ජනප්‍රිය හොලිවුඩ් නළු Nick Corderoගේ සමුගැනීම ගැන ඔහුගේ බිරිඳ තැබු සංවේදී සටහන
දින කිහිපයකට පෙර කැනේඩියානු විකාශන සේවයේ (CBS) This Morning නමැති උදෑසන වැඩසටහනට සහභාගි වෙමින් එක් ආදරබර බිරියක් එය මෙහෙයවූ නිවේදක ගේල් කේල්ට මෙසේ කීවාය.
“ඔහු ජීවත්වන එකක් නෑ කියලා, ඔහු මේ රෑ පන්නන එකක් නෑ කියලා ඔවුන් මට හතර වතාවක් විතර කිව්වා. ඒත් ඔහු තවමත් ජීවත් වෙනවා. ඔහු ජීවත් වෙනවා. මං විශ්වාස කරන්නේ මගේ සැමියා ජීවිතයෙන් සමුගැනීම තීරණය කළ හැක්කේ දෙවියන්ට පමණක් බවයි. ඒ නිසා එම කටයුත්ත මා භාර ගන්නේ නෑ. ඔහු සටන් කරන බව මා හැමදාම දකිනවා. ඒ වගේම ඔහුගේ වෛද්‍යවරයාත් ඔහු සටන් කරන හැටි දකිනවා. මාත් ඔහු සමඟ ඒ සටනේ දිගටම යෙදී සිටිනවා”.
ඒ ආදරණීය බිරියකගේ විශ්වාසයයි. තම සැමියා රෝහලේ ඇඳ මත මරණය පරාජය කිරීමට කරන සටන ගැන මෙන්ම ඔවුන්ගේ යුග දිවියේ මිහිර අමිහිරි එක්ව විඳගත් අවස්ථා ගැනත් ඇය ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ සටහන් කිරීමට ගත්තේ ඔහු රෝගී වීමත් සමඟය.
හොලිවුඩ් පුරවරයේ නම රැන්දු නික් කොඩෙරෝ (Nick Cordero) නම් ආදරණීය නළුවා මරණය පරාජය කිරීමට දරන සටන ගැන ඔහුගේ ආදර බිරිය අමන්දා ක්ලූටස් (Amanda Kloots) ගේ සටහන් බොහෝ දෙනා කියවන්නට ගත්හ. ඒ හරහා නික් කොඩෙරෝගේ සුවය පැතූහ.
එහෙත් ඉකුත් ඉරිදා නික් කොඩෙරෝ මෙලොව ගත කළ යුතු අවසන් දිනය බව දෙවියන් තීරණය කළා සේය. රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසුව එළැඹුණු 95 වැනි දිනයේ ඔහු සියල්ලන්ගෙන්ම සමුගත්තේය. එය දෙවියන්ගේ තීරණය බව හොඳින්ම දැන සිටි ඔහුගේ ආදර බිරිය අමන්දා ක්ලූටස් ඔහු සමුගත් බව ඇයගේ සටහන කියවන රසිකයන්ට දැනුම් දුන්නාය. “ඒ දැන් දෙවියන්ට දෙව්ලොව තවත් සුරඟනක් ඉන්නවා” අමන්දා ඉන්ස්ටග්‍රෑම් සටහන් තබමින් සඳහන් කළාය. “මගේ ආදරණීය සැමියා අද උදේ අභාවප්‍රාප්ත වුණා. ජීවිතයෙන් සමුගන්නා මොහොතේ ඔහුගේ පවුලේ අය ඔහු වටා සිටිමින් ගීතිකා ගයමින් යාඥා කළා. ඔහු ඉතා මෘදු ලෙස මේ මිහිතලයෙන් පිටව ගියා” යැයි ඇය සඳහන් කළාය.
මේ පුවත ඇසූ මොහොතේ පටන් හොලිවුඩ් නළු නිළියෝ තම සහෘද රංගන ශිල්පියාගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්නට ගත්හ.
හොලිවුඩ් තරුවක් බවට පත්වූ නික් කොඩෙරෝ කැනඩාවේ ඔන්ටාරියෝ හි උපන්නෙකි. රූපවාහිනි නාට්‍ය මාලාවන්හි හා සංගීත කණ්ඩායම්වලද, ජනප්‍රිය චිත්‍රපට කිහිපයකද රඟපෑ සම්මානිත නළුවෙකි. ඔහු රඟපෑ චිත්‍රපට අතර Apartment at 254, Don Juan, A stand Up Guy, Going in Style, Inside Game, Mob Town ආදියද වේ. ඔහු හොලිවුඩ් හි බේරා්ඩ්වේ සිනමා සමාගමට සේවය කළ අතර ඉන් පිටත නිෂ්පාදන කිහිපයකටද සහාය විය. ඔහුගේ රංගන දිවිය ආරම්භ කළේ The Toxic Avenger නම් රොක් සංගීතය තේමා කරගත් සිනමා පටයක රඟපෑමෙනි. නික් කොඩෙරෝ 2017 සැප්තැම්බර් 03දා අමන්දා ක්ලූටස් සමඟ විවාහ වූවාය. ඔවුන්ගේ පුත් එල්විස් උපත ලැබුවේ ඉකුත් වසරේ එනම් 2019 ජුනි මාසයේදීය.
නික් කොඩෙරෝගේ මරණය සම්බන්ධයෙන් ඇති ඉතා කනගාටුදායක කාරණය වන්නේ ඔහුගේ මරණය ලොව ලක්ෂ සංඛ්‍යාත දෙනාට නොසිතූ මරණයක් අත්කර දුන් කොරෝනා රෝගය වැලඳීම හේතුවෙන් සිදුවීමය.
නික් කොඩෙරෝ කොරෝනා වයිරසයේ ආසාදනයට ලක්ව ඇති බව හඳුනාගෙන රෝහල්ගත කර ඇත්තේ මාර්තු 30දාය. ඔහුගේ තත්ත්වය අවදානම් බවත්, කෘත්‍රිම ශ්වසන උපකරණයකට සම්බන්ධ කර ඇති බවත්, වකුගඩු ඩයලයිසිස් කිරීම සිදුකරන බවත් පසුව ඔහුගේ බිරිය අමන්දාට දැනුම් දී තිබේ. අප්‍රේල් 18දා ඔහුගේ දකුණු පාදයද කපා දමා ඇත්තේ රෝගය හේතුවෙන් ඇතිවූ සංකූලතා නිසාය. මැයි පළමුවැනිදා ඔහුගේ පෙණහලු විශාල ලෙස හානියට පත්ව තිබූ බව වාර්තා වූ අතර සිහි විසඥතාවයේද පසුවී ඇත. ජූලි 05දා ඉරිදා ඔහු මියයද්දී 41 හැවිරිදි වියේ පසුවිය.
මව්බිම හදගැස්ම
කාරියවසම්

