මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට
Monday, 13 July 2020 - 8:02 | Views - 8,330
ඊයේ දිනයේ ආසාදිතයන් 106 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,617 දක්වා ඉහළ ගියා.
ඉන් 76 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මාරුකර යැවුණු අය වන අතර, තවත් 14 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා.
තවත් 7 දෙනෙකු විදේශයන් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි පිරිස බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඔවුන් අතර බෙලරූස් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පස්දෙනෙකු, ඉරානයේ සිට පැමිණි වෙළඳ නැවියන් දෙදෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු වනවා.
එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිත රාජාංගණය ප්‍රදේශයේ උපදේශකවරයා ළඟින් ඇසුරු කළ දෙදෙනෙකු ඇතුලු ආශ්‍රිතයින් හයදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා.
විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අද සිට තාවකාලිකව නතර කරන බව යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් ලෙස කටයුතු කළ රත්නපුර, ඇහැලියගොඩ සහ කුරුවිට ප්‍රදේශවල පදිංචි තුන්දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළා.
ඔහු කියා සිටියේ ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි.
එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ මහනුවර - කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම නිසා ඒ ආශ්රිත පුද්ගලයින් 100 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.
ඔවුන් සිය නිවෙස් තුළම නිරෝධායනයට ලක් කළ බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ පවතින තත්ත්වය හමුවේ මැතිවරණ ප්රචාරක රැළි තාවකාලිකව අත්හිටුවන ලෙසටයි.
Share This Article