කුඩාදරුවන් ගොඳුරු කරගන්නා මානසික රෝග
Friday, 10 July 2020 - 12:05 | Views - 963

මවුපියන් මෙන්ම ගුරුවරුන් දරුවාගේ ක්‍රියාකාරකම්, වර්ධනය සහ හැසිරීම් රටා පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුයි. එවිට දරුවාට මානසික රෝග තත්ත්වයක් ඇද්දැයි හඳුනාගෙන කල්තියා ප්‍රතිකාර වෙත යොමු වීමට ඔබට පහසු වෙනවා. කුඩා කල මානසික රෝග නොසලකා හැරීමෙන් දරුවන් සමාජගත වීමට බිය වීම, විවිධ මානසික අවපීඩනයන් ඇතිවීම, සියදිවි නසා ගැනීමේ සිතිවිලි පහළ වීම වැනි සංකීර්ණ තත්ත්වයන් ඇතිවිය හැකිය. දරුවන්ට සුලභව ඇති වන මානසික රෝග කිහිපයක් හා ඒවා හඳුනාගන්නා ආකාරය අප මෙම ලිපිය ඔස්සේ සාකච්ඡාවට බඳුන් කර බලමු.
දරුවකුගේ මානසික ගැටලු හඳුනාගැනීමට වැදගත්ම කාරණය වන්නේ දරුවාගේ වර්ධනය පිළිබඳව මවුපියන්ට ඇති අවබෝධයයි. දරුවාගේ වර්ධනය යනුවෙන් අදහස් කළ විට දරුවාගේ හැඟීම් ප්‍රකාශන, වාචික සංවර්ධනය, හැසිරීම් රටාවල සංවර්ධනය යන මේ සෑම කරුණක්ම වැදගත් වෙනවා. දරුවාගේ වයසට අදාළව සිදුකළ යුතු ක්‍රියාකාරකම් දරුවා නිසි ලෙස සිදුකරනවා දැයි මවුපියන් සහ ගුරුවරුන් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. කුඩා දරුවන්ට සුලභව වැලඳෙන මානසික රෝග කිහිපයක් පිළිබඳව අපි දැන් බලමු.
ඔටිසම් (Autism)
ඔටිසම් රෝග ලක්ෂණ දරුවාට අවුරුදු එකහමාරක පමණ කාලයේ සිට හඳුනාගත හැකියි.
ඔටිසම් රෝග තත්ත්වය ඇති දරුවන් නිසි වයසේදී කතා කිරීම ආරම්භ නොකිරීමට ඉඩ තිබෙනවා. ඇතැම් දරුවන් නිසි ලෙස කතා කිරීම ආරම්භ කොට එක්වර කතා කිරීම නවතා දමනවා. මෙම දරුවන් තුළින් භාෂාමය සහ සන්නිවේදන ගැටලු රැසක් පෙන්නුම් කෙරෙනවා. යම් කිසි ප්‍රශ්නයක් ඇසූ විට ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙනවා වෙනුවට නැවත එම ප්‍රශ්නයම යොමු කිරීමද ඔටිසම් රෝගයේ රෝග ලක්ෂණයක් වෙනවා. ඔටිසම් තත්ත්වයෙන් පසුවන දරුවන් හුදෙකලා ලෙස කාලය ගත කිරීමට උත්සාහ දරනවා. මිතුරන් ඇති කරගැනීමට අවශ්‍ය වුවත් මිතුරන් ඇති කරගැනීම පිළිබඳව දැනුමක් ඔවුන් තුළ දැකිය නොහැකියි. යමක් සහයෝගයෙන් කිරීමට සහ යමක් හුවමාරු කරගැනීමට මොවුන් අකමැත්තක් දක්වනවා.
නෙතට නෙත බලා සන්නිවේදනයේ යෙදීමට අපහසු වීම ඔටිසම් රෝගයේ තවත් එක් ප්‍රධාන ලක්ෂණයක්. නිතර තරහ යෑම, රණ්ඩු කිරීමට පෙලඹීම වැනි ලක්ෂණද පෙන්නුම් කරනවා. ඔටිසම් දරුවන්ට එම තත්ත්වය ඇති බව බැලූ බැල්මට සොයාගැනීමට අපහසු වෙනවා. මුල් අවධියේම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර වෙත යොමු විය යුතුයි. ජානමය වශයෙන් ඇතිවන රෝග තත්ත්වයක් බැවින් රෝගය සම්පූර්ණයෙන් සුව කිරීමට නොහැකියි. නමුත් චර්යාත්මක ප්‍රතිකාර මඟින් රෝගය පාලනය කිරීමට හැකියාව තිබෙනවා. රෝගයට ප්‍රතිකාර නොකළහොත් දරුවාට ස්වාධීන ජීවිතයක් ගත කිරීමට අපහසු වීමට ඉඩ ඇත.
අධි ක්‍රියාකාරි සහ උෟන අවධානය ඇති දරුවන් (ADHD)
කුඩා දරුවන් තුළින් නිතරම දඟලනසුලු ස්වභාවක් දැකිය හැකියි. නමුත් අධි ක්‍රියාකාරී දරුවන් තුළින් දිස්වන්නේ එයට වෙනස් තත්ත්වයක්. ඔවුන් නිතර පමණට වඩා නොසන්සුන් ස්වභාවයක් පෙන්නුම් කරනවා. යමක් ඉවසීමට හෝ සිතිවිලි පාලනය කිරීමට ඔවුන්ට අපහසු වෙනවා. බුද්ධි මට්ටම හොඳ වුවත් අවධානය යොමු කිරීමට අපහසු වීම නිසා ඔවුන්ගේ අධ්‍යාපන වැඩ අතපසු වෙනවා. අවධානය නොමැති නිසාම මතකය අඩු වීමටද ඉඩ තිබෙනවා. යම් භයානක දෙයක භයානකකම පිළිබඳව ඔවුන්ට තේරුම් ගැනීමට අපහසුයි. ඒ නිසාම උස් තැන්වලට නැඟීම, අනතුරුදායක දේ අතපත ගෑමට පවා ඔවුන් යොමුවිය හැකියි.
දරුවාට අවුරුදු 3-4 වන විට මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙනවා. ඔෟෂධීය ප්රතිකාරවලින් මෙන්ම චර්යාත්මක ප්‍රතිකාර මඟින් රෝගයට ප්‍රතිකාර කෙරෙනවා. දරුවාගේ වර්ධනය සමඟ රෝග ලක්ෂණ අඩු වීමක්ද සිදුවෙනවා නමුත් ප්‍රතිකාර නොකළහොත් 10%කට පමණ වැඩිහිටි වියේදීත් මෙම හැසිරීම් පවතිනවා.
OCD (Obsessive Compulsive Disorder)
OCD තත්ත්වය වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ටත් සුලභව ඇතිවන මානසික රෝගී තත්ත්වයක්. මෙහි ප්‍රධානම රෝග ලක්ෂණය වන්නේ පාලනයකින් තොරව සිතට නිතරම කරදරකාරී සිතුවිලි මතුවීමයි.
මෙම තත්ත්වය ඇති දරුවන් නිතර අත සේදීමට, ෙදාරවල් ඇරීම, වැසීම වැනි ක්‍රියාවලට යොමු වෙනවා. පාසල් යන දරුවන් මේස, පොත්, පුටු අතින් ඇල්ලීමට බිය වෙනවා. අන් අයගේ බඩු ඇල්ලීමටද බියක් දක්වනවා. ඒවා ඇල්ලීමෙන් විසබීජ අත මත තැවරේ යැයි ඔවුන් තදින් විශ්වාස කරනවා. ඔවුන්ට අමිහිරිව රූප මැවී පෙනීමටද ඉඩ තිබෙනවා. අවුරුදු 6 සිට මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. රෝගයට ප්‍රතිකාර නොකළහොත් පාලනය කරගත නොහැකි සිතුවිලි ඇතිවිය හැකියි. එසේම දරුවාගේ අධ්‍යාපනය මෙන්ම ජීවිතයද අසාර්ථක වීමට ඉඩ තිබෙනවා.
කාන්සාව (Anxiety)
මෙය බොහෝ කුඩා දරුවන්ට ඇතිවන රෝගී තත්ත්වයක්. මෙම තත්ත්වය ඇති විට දරුවා තුළ අධික භීතියක් ඇති වෙනවා
ඔවුන් පාසල් යෑමට පවා අකැමැත්තක් දක්වනවා. ඔවුන් නිතර හුදෙකලා වීමට උත්සාහ දරනා අතර යමකට ඉදිරිපත්වීම නිතර ප්‍රතික්ෂේප කරනු ලබනවා. කතා කිරීමට මෙන්ම සමාජය ඉදිරියට යෑමට අධික බියක්, ලැජ්ජාවක් දක්වනවා. මෙවැනි ලක්ෂණ දරුවා තුළින් ගම්‍ය වන්නේ නම් වහා දරුවා ප්‍රතිකාර වෙත යොමු කළයුතුයි. ප්‍රතිකාර මඟින් සුව වුවද නැවත තත්ත්වය මතු විය හැකි බැවින් දරුවාට හොඳ අවධානයක් යොමු කිරීමද වැදගත්.
සෙව්වන්දි හෙට්ටිආරච්චි
Share This Article