මෙරට පාතාල කල්ලියක් සතුව තිබියදී සොයා ගත් වැඩිම ගිනි අවි තොගය හෝමාගමදී STF අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 29 June 2020 - 19:34 | Views - 8,969

මෙරට පාතාල කල්ලියක් සතුව තිබියදී සොයා ගත් වැඩිම ගිනි අවි තොගය අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද සමත් වුණා.ඒ, හෝමාගම - පිටිපන ප්රදේශයේ පිහිටි සිව්මහල් වෙළඳසැලක සඳවා තිබියදීයි.මේවා දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්රධාන පෙලේ පාතාල නායකයෙකු වන තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරකගේ බවට විශ්වාස කෙරෙනවා.ටී - 56 වර්ගයේ ගිනි අවි 12 ක් සහ ටී - 81 වර්ගයේ ගිනි අවියක් මෙහිදී සොයා ගැණුනු අතර, මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදී තිබුණේ පසුගියදා මීගොඩ - ඉන්ගම්මාරුව ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් පොට්ට කපිල හෙවත් මඩපාතගේ කපිල කුමාර නමැත්තා විසින්.2018 වසරේ ජුනි 22 වනදා මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් කොස්ගොඩ තාරක ඇතුළු පිරිසක් කොල්ලකනු ලැබුවේ වෑන් රථයකින් සහ ත්රිරෝද රථ 3 කින් පැමිණයි.අදාළ වෑන් රථය පොට්ටකපිල නමැත්තා විසින් පදවා ඇති බව පසුව හෙළි වුණා.මෙම ගිනි අවි පසුගිය මැයි මාසයේ අදාළ වෙළඳසැලට පොට්ටකපිල නමැත්තා විසින් රැගෙනවිත් එහි හිමිකරුට ලබාදී ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය සැක කරනවා.එහෙත්, වෙළඳසැලේ හිමිකරු සඳහන් කර ඇත්තේ තමාට මරණ තර්ජන එල්ල කිරීම නිසා අදාළ ගිනි අවි වෙළඳසැල තුළ සඟවාගෙන සිටි බවයි.කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ දැනට බන්ධනාගාරයේ සිටින කොස්ගොඩ තාරකට දුරකථන ඔස්සේ සම්බන්ධ විය නොහැකි නිසා බන්ධනාගාර ගතව සිටින ඔහුගේ සමීපතමයෙකු වන ගගන නමැත්තෙකු විසින් අදාළ ගිනි අවි තොගය පොට්ටකපිල නමැත්තාට ලබාදී ඇති බවයි.මෙම ගිනි අවි අදාළ ස්ථානයේ සඟවා තිබුණේ කුමන හේතුවකට ද යන්න සහ මේවා රැගෙන ආවේ කුමන ප්රදේශයක සිට ද යන්න සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Share This Article