කොළඹ නගරයේ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ තුන්වන අදියර අද ඇරඹේ
Monday, 29 June 2020 - 9:01 | Views - 474

කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මං තීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ තුන් වන අදියර අද (29) සිට ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා.
ඒ අනුව අද උදෑසන 6ට ඉඟුරුකඬේ මංසන්ධියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ආමර් වීදිය, මාළිගාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වා බස් ප්‍රමුඛතා නීතිය සහ මං තීරු නීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
බස් ප්‍රමුඛතා මං තීරු නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී එම මංතීරුවේ ගමන් කළ හැක්කේ පෞද්ගලික හා ලංගම බස් රථ මෙන්ම ආසන 20ට වැඩි කාර්යාල ප්‍රවාහන සේවා බස් රථවලට සහ පාසල් ළමයින් ප්‍රවාහනය කරන පොදු ප්‍රවාහන බස් හා වෑන් රථ සඳහා පමණයි.
මේ අතර, මොරටුව සිට පිටකොටුව ඕල්කට් මාවත දක්වා ක්‍රියාත්මක බස් ප්‍රමුඛතා මංතීරු නීතිය උල්ලංගනය කරන පුද්ගලයින්ට එරෙහිව මේ වන විට නීතිය දැඩිව ක්‍රියාත්මක වනවා.
ඒ අනුව, පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වා කොළඹට පැමිණිමේදී මොරටුව කුරුස හන්දියේ සිට ගල්කිස්ස මැලිබන් හන්දිය, වැල්ලවත්ත හරහා කොල්ලුපිටිය දක්වා බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක වන අතර, කොල්ලුපිටිය, පිත්තල හන්දිය, කොම්පඤ්ඤවීදිය, හරහා පිටකොටුව දක්වාද එම නීතිය ක්‍රියාත්මකයි.
එමෙන්ම, පස්වරු 4 සිට පස්වරු 7 දක්වා කොළඹින් පිටත්වීමේදී පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, පිත්තල හන්දිය, පුස්තකාල වටරවුම හරහා කොල්ලුපිටිය දක්වා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අනුගමනය කළ යුතු වනවා.
එමෙන්ම පස්වරු 5 සිට පස්වරු 8 දක්වා කාලය තුළ කොළඹින් පිටත් වීමේදී ගල්කිස්ස මැලිබන් හන්දියේ සිට මොරටුව කුරුස හන්දිය දක්වා ද බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක වනු ඇති.
Share This Article