ලාංකිකයන් දිනකදී වැඩි කාලයක් ගත කරන්නේ නින්දෙන් බව සමීක්ෂණයකින් හෙළිවේ
Saturday, 27 June 2020 - 13:10 | Views - 201

ශ්‍රී ලාංකිකයෙකුගේ දිනකදී වැඩිම කාලයක් ගත කරන්නේ නින්දට බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව පුද්ගලයෙකු දිනක පැය 24ක කාලයෙන් පැය 8යි විනාඩි 6ක්ම ගත කරනු ලබන්නේ නින්දට බව සඳහන්.
වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයෙකු දිනකට පැය 8යි විනාඩි 18ක් නිදා ගැනීම සඳහා වැය කරන අතර වයස අවුරුදු 20ත්, 54ත් අතර වයසේ පසුවන්නන් නින්ද සඳහා ගත කරන්නේ දිනකට පැය 7යි විනාඩි 30ක් බවයි අදාළ සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, ශ්‍රම බලකායේ පුද්ගලයෙකු දිනකට පැය 7යි විනාඩි 6ක් රැකියාවට සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා කාලය වැය කරන බව හෙළි වී ඇති කරුණක්.
මීට අමතරව වයස අවුරුදු 10ට වැඩි අය අතරින් වැඩි සහභාගීත්වයක් දක්නට ලැබෙන්නේ ඵලදායී නොවන ක්‍රියාකාරකම් සඳහායි.
ඉන් අනතුරුව වැඩිම සහභාගීත්වයක් දැක්වෙන්නේ විනෝදාස්වාද, ක්‍රීඩා, සන්නිවේදන හා සංස්කෘතික කටයුතු සඳහා වන අතර, පිරිමි අය අතරින් සියයට 90.6ක් සහ කාන්තාවන්ගෙන් සියයට 88.4ක් ඒ සඳහා සහභාගීත්වය දක්වා තිබෙනවා.
2017 වසරේ මෙරට ශ්‍රම බල සමීක්ෂණයට සමාගාමීව ගෘහ ඒකක 6440ක් ආවරණය වන පරිදි වයස අවුරුදු 10 හෝ ඊට වැඩි පුද්ගලයන්ගෙන් ඔවුන් දවසේ පැය 24 තුළ දී සෑම විනාඩි 15ක් තුළදීම සිදුකළ සියළු කාර්යයන් පිළිබඳව තොරතුරු ලබා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.
අදාළ සමීක්ෂණයේ වාර්තාව පසුගිය දා ප්‍රකාශයට පත් කරමිනුයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම තොරතුරු අනාවරණ කර ඇත්තේ.
මේ අතර, නීරෝගී පුද්ගලයෙකුට දිනකට පැය 6 - 8 ත් අතර කාලයක නින්දක් අවශ්‍ය බව සෞඛ්‍ය නිර්දේශයයි.
කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ අඩාල වූ ආර්ථික කටයුතු යළි නගා සිටුවීම සඳහා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි බව මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ පෙන්වා දෙනවා.
ඔහු කියා සිටියේ පුද්ගලයෙකු නින්දට වැය කරන කාලය ඵලදායී ලෙස අඩුකර ගැනීමට හැකියාව පවතින බවයි.
Share This Article