පිළියන්දල යතුරුපැදි මාරකයෙන් මරු වැළඳගත්, පුබුදුගේ අවසන් මොහොත
Thursday, 25 June 2020 - 8:37 | Views - 15,481

"පුතා බයිසිකලය ගත්තහම වේගයෙන් පදින නිසා යතුර හංඟලයි තිබුණේ. යතුර හොයාගන්න බැරුව වයර් කපලා බයිසිකලේ අරගෙන, යාළුවෙක් එක්ක යන අතරතුර දී සිදුවූ අනතුරකින් මගේ පුතා සඳහටම අපිව හැර ගියා" යැයි පිළියන්දල වෑවල කරදියාන පාර අංක 14/11 හි පදිංචි එළුවානේ මුදියන්සේලාගේ සේනාරත්න පැවසුවා.
පිළියන්දල සුවාරපොල ප්‍රදේශයේදී මෝටර් රථයක, යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරින් මිය ගිය 17 හැවිරිදි උසස් පෙළ හදාරන පාසල් සිසුවාගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්කි දුන් සාක්ෂිකරු එසේ සඳහන් කළා.
මියගොස් ඇත්තේ එළුවානේ මුදියන්සේලාගේ පුබුදු අසංක සේනාරත්න නැමැති තරුණයෙක්.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ පසුපැදිකරුගේ වම් පාදය බිඳී මුහුණට තුවාල සිදුව ඇති අතර ඔහු දැනට කළුබෝවිල ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පැවසෙනවා.
පියා මෙහිදී මෙසේ ද පැවසූවා.
"මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. වැඩිමලා දුව. මියගොස් ඇත්තේ බාල පුතා. මොහු පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙලා උසස් පෙළ හදාරමින් ඉන්නවා. මෙයා මෝටර් බයිසිකල් පදින්න හරි කැමතියි. බයිසිකලේ ගත්තාම හරි වේගෙන් පදිනවා. ඒ නිසා බයිසිකලේ පදින්න එපා කියලයි තියෙන්නේ. ඒත් කියන දේ අහන්නේ නැතුව මම නැති වෙලාවට බයිසිකලේ අරන් යනවා. ඒ නිසා මම වැඩට යනකොට යතුර හංගලා යන්නේ. මේ සිද්ධිය වුණු දවසේ පුතාට යතුර යතුර හොයාගන්න බැරිව බයිසිකලේ වයර් කපලා ස්ටාට් කරගෙන තවත් යාළුවෙක් එක්ක ජිම් එකට යනවා කියලා තමයි මේ ගමන ගිහින් තියෙන්නේ.."
මිය ගිය පුබුදු පැදවූ යතුරුපැදියේ පිටුපස ගමන් කළ රාජපක්ෂගේ ලක්ෂිත ගිම්හාන් සාක්ෂි දෙමින් මෙසේ කීවා.
"පුබුදු මගේ ගෙදරට ඇවිත් ජිම් යමු දැයි ඇහුවා. පසුව අපි දෙන්නා පුබුදුලාගේ ගෙදර තිබුණු ස්කූටි යතුරුපැදියෙන් ජිම් එකට යෑම සඳහා පිළියන්දල දෙස සිට සුවාරපොල දෙසට ටිකක් වේගයෙන් යමින් සිටියා. මේ යන අතරතුරේදී මාර්ගයේ වම්පස නවතා තිබූ මෝටර් රථයක් දකුණුපස මංතීරුවට දැමීම සඳහා පාර හරහා දැම්මා. ඒ වෙලාවේ පුබුදු මෝටර් රථයෙන් බේරිලා ඉස්සර කරන්න හැදුවා. ඒ වෙලාවේදී මගේ නම් කකුලේ දණහිස මෝටර් රථයේ ඉදිරිපස වැදුනා. ඒත් සමඟම මාව බිම වැටුණා. පුබුදු බයිකලෙත් එක්ක වීසිවෙලා අයිනේ කාණුවට වැටුණා.."
"ඒ සමඟම අවට පිරිස් ඒ ස්ථානයට ඇවිත් 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වාගෙන මාවත් පුබුදුවත් කළුබෝවිල රෝහලට රැගෙන ආවා. එහිදී වෛද්‍යවරුන් අපි දෙන්නවම පරීක්ෂා කරලා වෛද්‍ය ප්‍රතිකාර කළා. පසුව මගේ මුහුණටත් කකුලටත් සිදුව තිබූ තුවාලවලට බෙහෙත් කරගෙන එළියට ඇවිත් පුබුදු ගැන අහද්දි තමයි ඔහු මියගියා කියලා මගේ අයියගෙන් දැනගත්තේ.."
ඒ අනුව වෛද්‍ය වාර්තාව හා සාක්කි සැලකිල්ලට ගනිමින් තමන් ගමන් කළ යතුරුපැදිය මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරින් මරණකරුගේ පපු ප්‍රදේශයට සිදුවූ තුවාල මරණයට හේතුව බව කළුබෝවිල හදිසි මරණ පරීක්ෂකවරයා මරණ පරීක්ෂණයේදී තීන්දුව ලබා දුන්නා.
(මෙම උපුටාගැනීම "ලංකාදීප" පුවත්පතෙන්.)
Share This Article