එයාව පිච්චුවේ නැත්තේ මිනියවත් බලන්න බැරිවෙන නිසයි - මේ මගේ පළවැනි ආදරේ, එයාව වෙන කාටවත් අයිති වෙනවට මම කැමති වුණේ නෑ
Thursday, 25 June 2020 - 8:23 | Views - 1,659
චතුරි අංජලි සෞම්‍යා යොමාලි බාලචන්ද්‍ර 27 හැවිරිදි කෙළිලොල් වියේ පසුවූ තරුණියක්.
 
ඇගේ ලිපිනය වූයේ දිවියාපොල, නන්නාපුරාව, මැදගමයි. ඇගේ පියා ව්‍යාපාරිකයෙක්. ඒ නිසාම මේ පවුලට අඟහිඟකම් තිබුණේ නෑ.
 
ඇය අධ්‍යාපනය ලැබුවේ මහනුවර ප්‍රසිද්ධ පාසලකයි. ඒ ඇයගේ මව මොවුන්ට හොඳ අධ්‍යාපනයක් දීමට සිතාගෙන මොවුන් පාසල් අවධියට පැමිණීමෙන් පසු මහනුවරට ගොස් කුලියට නිවසක් ගෙන එහි පදිංචි වූයේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළ නිසායි.

ඇය පෙම් සබඳතාවයක පැටලෙන්නේ පාසල් අවදියේදීමයි. ඒ මහනුවර වෙනත් විද්‍යාලයක ඉගැනුම ලැබූ සිසුවෙකු වූ සම්පත් සමඟයි.
 
පාසල් වියේ පටන් ගත් පෙම් සබඳතාව දිගින් දිගටම කෙරීගෙන ගිය අතර කල් ගත වෙද්දි ඇය සම්පත් හා එකට ජීවත් වන්නට පටන් ගත්තේ විවාහ දිවියට එළඹීමකින් තොර වුවත් එයට ඇගේ මව්පියන්ගෙන් බාධාවක් එල්ලවූයේ නැහැ.
 
මීට වසර එකහමාරකට පමරණ පෙරදී ඇගේ පියා මිය යන අතර අනතුරුව මව ගම අතහැර දමා කොළඹට එන්නේ ගමේ ඉඩකඩම් පාළුවට හරිමිනුයි.
 
මවගේ නමට ලක්ෂ ගණනක ස්ථාවර තැන්පතු තිබූ අතර ඉන් මසකට ඇයට ලැබුණූ ආදායම රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වුණා. යොමාලි නමටද රුපියල් ලක්ෂ පනහකට වැඩි මුදලක ස්ථාවර තැන්පතු තිබූ බැවින් ඇය ද අග හිඟයකින් තොරව ජීවත් වුණා.
 
කොළඹට පැමිණ මව සමඟත් ගමට ගොස් පෙම්වතා සමඟත් කල් ගෙවන්නට පුරුදු වූ ඇය ගිය වර්ෂයේ ජූනි මස පෙම්වතා සමඟ මැදගමට ගොස් සිය නිවසේ නිදහසේ කල් ගෙව්වා. මෙලෙස කල් ගෙවෙද්දි මෙම වසරේ පෙබරවාරි මාසයේදී පෙම්වතා සමඟ අමනාප වන ඇය මාකොළ පිහිටි මවගේ කුලී නිවසට ගොස් ජීවත් වන්නට පටන් ගත් අතර සම්පත් මහනුවර පිහිටි සිය මවුපියන්ගේ නිවසට ගොස් කල් ගෙවන්නට වුණා.
 
ඔහුගේ වෘත්තිය වූයේ සංචාරක ව්‍යාපාරයයි. මහනුවර, මීගමුව වැනි ප්‍රදේශවල හෝටල් කිහිපයක රැකියාව කළ මොහු ඇය සමඟ අමනාප වීමෙන් අනතුරුව නිවසට වී සිටියා මිස රැකියා කිරීමට ගියේ නෑ.
 
පෙම්වතා සමඟ අමනාපයෙන් ටික දිනයක් ගෙවි යද්දි ඇයට පාළුවක් දැනෙන්නට ගත්තේ පෙම්වතා සිහි වීමත් සමඟයි.
 
ඒ වනවිට කොරෝනා වසංගතය මෙරටට ද පැමිණ තිබූ අතර රටේ ඇඳිරි නීතියද පනවා තිබුණා. එහෙත් ඒ බවක් එතරම් දුරට නොසිතූ ඇය මාර්තු මස විසිදෙවන දින සිය පෙම්වතාට දුරකථන ඇමතුමක් දුන්නා.
 
"ඔයා ඇවිත් මාව මැදගම එක්කගෙන යන්නකෝ. අපි එහේට වෙලා ඉඳිමු.."
 
එලෙස කියමින් ඇය දුන් ඇමතුමට ප්‍රතිචාර දක්වන ඔහු ඇගේ මුදලින් මිලදී ගෙන ඔහුගේ පාවිච්චියේ තිබූ යතුරුපැදියෙන් පැමිණ ඇය සමඟ මැදගම බලා යන්නේ හිතවත් බලධාරියෙකුගෙන් ලබාගත් අනුමැතියකට අනුවයි.
 
මෙලෙස දින කිහිපයක් ගෙවී ගියා. නිවසේ කල් ගෙවන ඔවුන් ගැන වටපිටාවේ අයට අසන්නට දකින්නට නොලැබෙන අතර ඉකුත් පස්වැනිදා එම නිවස දෙසින් දැඩි දුර්ගන්ධයක් එන බව පොලිසියට වාර්තා වන්නේ හදිසි ඇමතුම් අංකයට ලැබෙන පණිවුඩයකින්.
 
තොරතුරු ලද වහාම ක්‍රියාත්මක වන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. මාරසිංහ මහතා අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චානක විජේරත්න කැඳවා මේ ගැන සොයා බලන ලෙස උපදෙස් දුන්නා.
 
ඒ අනුව චානක විජේරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායමක් එම නිවසට යන අතර ඔවුන් දුටුවේ නිවස වසා ඇති ආකාරයයි.
 
නිවෙසට ඇතුල් වන ඔවුන්ට දැක ගන්නට ලැබෙන්නේ දින ගණනකට පෙර වටපිටාවේ ගින්නකින් විනාශ වුනු සාලයේ මැද ඇති නරක් වී ගිය මළසිරුරක්.
 
එම ස්ථානයේ ආරක්ෂාව තර කරන විජේරත්න මහතා ස්ථානාධිපතිවරයා අමතන්නේ, "සර් මෙතන මර්ඩර් කේස් එකක් වගේ" යැයි කියමිනුයි.
 
"ඔයා දන්නවනේ කරන්න ඕනේ දේ. වැඩේ පටන් ගන්න.."
 
විමර්ශන ආරම්භ කළ පොලිසිය මිය ගිය අයගේ පවුලේ ඥාතීන් හා මව ගෙන් මෙන්ම වටපිටාවේ පදිංචි අයගෙන් ද සාක්ෂි සටහන් කරගත්තා.
 
එහෙත් කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි වුණා.
 
පොලිස් නිලධාරින් ඊළඟට සිය උකුසු ඇස යොමු කරන්නේ මේ තරුණිය ඇසුරු කළ පෙම්වතා වෙතටයි...
 
ඔහු සොයා මෙහෙයුම් දියත් කරන පොලිසියට මැදගමදීම ඔහු අල්ලා ගැනීමට හැකි වුණා.
 
"මම තමයි එයාව කොළඹ ඉඳලා එක්කගෙන ආවේ. අපි දවස් තුන හතරක් ඔය ගෙදර හිටියා. පස්සේ මම පළවෙනිදා රෑ නවයට විතර නුවර ආවා. එදා ඉඳලා එයාගේ ෆෝන් වැඩ කළේ නෑ. මම කිහිප සැරයක්ම ගත්තා. ඒ ඇරෙන්න නම් වෙන කිසිම දෙයක් මම දන්නේ නෑ.." පෙම්වතා පැවසුවා.
 
"එදා නවයට නුවර හිටියේ කියලා කිව්ව නිසා අපිට ඒ ගැන පොඩි සැකයක් ඇතිවුණා. ඒ ඔස්සේ විමර්ශනයක් කරනකොට අපේ පොලිසියේ හිටපු ප්‍රේමරත්න රාළහාමි කිව්වා සර් ඔය කොල්ලා වගේ කෙනෙක් එදා පාන්දර එකට විතර මැදගම ටවුමේ හිටියා වගේ මට මතකයි කියලා.."
 
"අපි උපක්‍රමශීලිව සීසීටීවී කැමරා පරික්ෂාවට ලක් කළා. ඒ අනුව තහවුරු වුණා මේ කොල්ලා ඒ වෙලාවේ ටවුමේ හිටියා කියලා.."
 
"නැවත වතාවක් අපි ප්‍රශ්න කරන්න පටන් ගත්තා. තමුන් නුවර ගියා නම් කොහොමද එකට විතර මැදගම ටවුමේ හිටියේ කියලා ඇහුවා. ඒ පාර මිනිහා, 'මම ඇත්තම කියන්නම් සර්, ගෙදර රබර් ශීට් වගයක් තිබුණා. ඒවා ගෙනියන්න කොළඹින් ලොරියක් ආවා. ඒ ලොරිය ටවුමට ඇවිල්ලා තිබුණේ. ඒ වෙලාවේ තමයි මම ටවුමට ආවේ..."
 
චානක විජේරත්න මහතා මේ සියල්ල විස්තර කළා.
 
එහෙත් පොලිසිය මොහු පවස සියල්ල පිළිගන්නා බවක් පෙනෙන්නට නොවුණු තැන ඔහු වෙනත් කතාවක් කියන්නට පටන් ගත්තා.
 
"සර් අපි දෙන්නා පොඩි සිද්ධියකට රණ්ඩු වුණා. අපි දෙන්නම හිටියේ හිතේ වේදනාවෙන්. රෑ නවයට විතර මට සද්දයක් ඇහුණා. බලනකොට එයා සාලේ එල්ලිලා ඉන්නවා. මට බය හිතුනා. ඒක නිසා මම ඉක්මනින් ගෙදරින් ආවා.." ඒ ඔහු කියූ කතාවයි..
 
"ඒ කිව්ව තොරතුරු සම්බන්ධයෙන් අපි හොයලා බැලුවත් එතන සියදිවි හානි කරගන්න බවක් පේන්න තිබුණේ නෑ. ඒක නිසා අපි ආයෙමත් ප්‍රශ්න කරන්න පටන් ගත්තා..."
 
අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කියා සිටියා.
 
"ඒ පාර මිනිහා වෙන කතාවක් කියන්න පටන් ගත්තා..."
 
"සර් ඇත්තම කියන්නම්. අපි කාමරේ ඇඳට වෙලා හිටියේ. එයාට ඒ වෙලාවේ කොල්ලෙක්ගෙන් කෝල් එකක් ආවා. එයාට වෙන සම්බන්ධයක් තිබුණා. ඒ නිසායි අපි දෙන්නා අතරේ ප්‍රශ්න ඇතිවුණේ.."
 
"ඒ කෝල් එක ඒ කොල්ලගෙන් වෙන්න ඇති. ඒ නිසාද කොහේ ද එයා අල්ලපු කාමරේට ගිහින් කතා කරලා ආයෙත් ඇඳට ආවා. ඒකට මම හිතේ කේන්තියෙන් වගේම වේදනාවකින් හිටියේ. මේ මගේ පළවැනි ආදරේ. එයාව වෙන කාටවත් අයිති වෙනවට මම කැමති වුණේ නෑ. ඒ ගැන මට හරි දුකයි. ඉතින් මගේ ළඟට ආපු වෙලාවේ මම එයාගේ බෙල්ල තදින්ම හිරකරගෙන විනාඩි විස්සක් විතර හිටියා. මැරුණා කියලා දැනගත්තම මම එයාව එල්ලිලා මැරුණා කියලා පෙන්වන්න උත්සහා කළා.."
 
"ඒ වෙලාවේ මට කොළඹින් ආපු ලොරියකින් කෝල් එකක් එනවා අපේ දොර තියෙන රබර් ශීට් ටික ගෙනියන්න එනවා කියලා. මම ඉක්මනට එයාව ඇදගෙන ගිහින් අල්මාරියේ ඇතුළට දාලා වහනවා..."
 
"වහලා ටවුමට යනවා. ඒ වෙලාවේ තමයි සර්ලා දැකලා තියෙන්නේ.."
 
තරුණයා කියාගෙන ගියේ තමන් සිදු කළ ඝාතනය සම්බන්ධයෙන් ඇඬූ කඳුළෙනුයි.
 
"සර් ෂීට් ටික පටවලා ලොරිය පාන්දර හතර හමාරට විතර යනවා. පස්සේ මම අංජලීගේ මිනිය ආයෙත් සාලෙට ගෙනාවා. කඹයක් දාලා එල්ලිලා වගේ මැරුනේ කියලා පෙන්නන්න හැදුවත් ඒක කරන්න බැරි වෙනවා. ඒක නිසා ගෙනාපු පෙට්‍රල් බෝතලේ එයාගේ වටේ තිබුණ බඩුවලට දාලා ගිනි ගහනවා. පස්සෙ මම පාන්දර පහට විතර බයික් එකෙන් ගෙදර යන්න යනවා. ඒ යන්න කලින් එයාගේ තියෙන රත්තරන් බඩු ටිකත් ගලවා ගන්නවා.."
 
"ඇයි රත්තරන් බඩු ටික ගන්නේ?"
 
"මට සල්ලි ප්‍රශ්නයක් නෑ. එයාගේ බඩු මට වැඩක් නෑ. සර් කවුරු හරි ඇවිල්ලා රත්තරන් බඩු ටික ගන්න මෙයාව මරලා කියලා හිතන්න තමයි එහෙම කළේ.."
 
"ඊට පස්සේ හසලක පහු කරලා 18 වංගුව හරියේදී මම එයාව අදින්න පාවිච්ච කරපු ග්ලවුස් එකයි ගිනි පෙට්ටියයි විසිකරලා දාලා ගෙදර යනවා.. එච්චර තමයි සර්..."
 
"ඉතින් ඇයි අර කෙල්ලව ගිනි තියන්නේ නැතුව තමුන් කාමරේයි සාලෙයි ගිනි තිව්වේ.."
 
"මොනවා වුණත් ඒ මගේ ගෑනිනේ. ආයෙත් මුහුණ හරි බලන්නවත් බැරි වෙනවනේ.. ඒකයි එයාගේ ඇඟට පෙට්‍රල් දැම්මේ නැත්තේ.."
 
සැකකාර පෙම්වතා එලෙස සියල්ල හෙළි කළා.
 
28 හැවිරිදි පෙම්වතාගේ පොල්ගස්වෙල, අරංගල, පල්ලකැලේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී කාමරයේ තිබී මෙම තරුණිය පැළඳ සිටි මුදු අත් පළඳනාවක්, සුරයක් ඇතුළු ආභරණ රැසක් හමුවන අතර පෙම්වතා අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
 
මාපියන්ගේ ආදරය රැකවරණය නොලැබීම මෙන්ම ඔවුන් ගැන සොයා නොබැලූ විට අයාලයේ යන දරුවන්ට මුහුණ දීමට සිදු වන්නේ මෙවැනි ඛේදවාචකවලටයි.
 
එසේම රාත්‍රී මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරින්ගේ මතකයේ තිබූ දින පහකට පෙර රාත්‍රීයේ දුටු මතකය නොවන්නට තව දුරටත් මේ ඝාතනයේ සුලමුල අබිරහසක් වන්නට ඉඩ තිබුණා.
 
අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර පෙම්වතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුණා.
 
ජී. අයි. ආර්. ගරුසිංහ "මාංචු" පුවත්පතට ලියූ ලිපියක්...


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top