දුක - සතුට දෙකට මැදිවෙලා පසුගිය කාලේ ගෙව්වා කිව්වොත් තමයි හරි. ලෝකෙ පුරාම වගේ පැතිරෙන වසංගත තත්ත්වය නිසා අපේ එදිනෙදා කටයුතු නවත්තල ගෙදරට වෙලා ඉන්න වුණ එක ගැන දුකක් දැනුනත් ගෙදර අය එක්ක වැඩිපුර කාලය ගතකරන්න ලැබීම ඇත්තටම සතුටක්.
මේ කන කට්ට නිසා රංගනය අතහැරල රැකියාවක් කළානම් හොඳයි කියල හිතුණ අවස්ථාත් ඇති නේද?
අනේ නෑ. කට්ටක් වුණත් මේක රසයි. පුංචි කාලෙ ඉඳල හීන මවපු රැකියාව ලැබීම ලොකු භාග්‍යයක් කියලයි මම හැම වෙලාවෙම හිතන්නෙ. අනික රංගනය කියන රැකියාව නිසා අපි ලබන ආදරය වෙන කිසිම රැකියාවක නිරතවෙලා ලබන්න බැහැනෙ. මේ ඉන්න අතරේ ළඟදීම මම ව්‍යාපාරිකාවක් විදියට තවත් රැකියාවක නිරත වෙන්නත් හිතාගෙන ඉන්නවා.
මේ තරම් මහන්සිවෙන්නෙ ජනප්‍රියම නිළිය වෙන්නද දක්‍ෂතම නිළිය වෙන්නද..?
මම ඔය කියන සම්මාන දෙකටම එකවගේ කැමැතියි. රසික ආදරය මට ගොඩක් වටිනවා. දක්‍ෂතම නිළිය වෙන්නනම් මට තව ගොඩක් දේවල් සපුරන්න වෙනවා රංගන ක්‍ෂේත්‍රය තුළ.
සාධාරණය අකුරට ඉටුකරන්න පුළුවන් මොනවගේ චරිතවලට කියලද ඔබ හිතන්නෙ?
තවම ඒ ගැන හරියටම කියන්න බෑ. මොකද මට මෙතෙක් වැඩියෙන් ලැබුණේ පෙම්වතියගෙ චරිතනෙ. ඒ හැම අවස්ථාවකම මගේ උපරිමය මම කළා. ඒත් ඉදිරියේදී ඒ චරිතයෙන් මිදිල විවිධ චරිත නිරූපණය කරන්න ලොකු ආසාවකින් ඉන්නවා.
නිර්මාණයකට ආරාධනා ලැබුණම මොනවගේ කොන්දේසි උඩද එය භාර ගන්නෙ?
කොන්දේසි දාල චරිත භාරගන්න තැනට මම තවම ඇවිත් නැහැ. එහෙම එන්න බලාපොරොත්තුවකුත් නැහැ.. විවේකය නැතුව වැඩකරන්න අමාරුයි. කතාබහ කරල තීරණ ගන්න පුළුවන්කම තියෙද්දී කොන්දේසි පනව ගන්න ඕන නැහැනෙ.
සාර්ථක රංගන ශිල්පිනියක් වෙන්න නම් ලැබෙන හැම චරිතයක්ම බාරගන්න ඕන කියන කථාව ගැන ටනාෂා මොකද හිතන්නෙ..?
මම ඒ කථාවට එකඟ නැහැ. ගෑනු ළමයෙක් විදියටත් පවුල් පසුබිමට වගේම රටේ සංස්කෘතියට නොගැලපෙන චරිත කරන්න මම ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඒ හැමදේම රැකගෙන මගේ දක්‍ෂතා පෙන්නන්න පුළුවන් චරිත නම් මම අතහරින්නේ නෑ.
සිනමාව තුළ ඔබේ ගමන ගැන කථා කළොත්
මේ වෙනකොට මම රංගනයෙන් දායක වුණ නලින් රාජපක්‍ෂ මහත්මයගෙ රන් දේදුන්නක් චිත්‍රපටය තිරගත වුණා. මම එහි රඟපාන්නෙ රොෂාන් රණවන අයියත් එක්ක. තවත් චිත්‍රපට තුනක් තිරගත වීමට තියෙන අතරෙ ආරාධනා කීපයකුත් ලැබිල තියෙනවා.
හොය හොයා විලාසිතා පස්සෙ යන්න වුණේ රංගන ශිල්පිනියක් වුණ නිසා නේද
එහෙම නෙමෙයි ඉතින් ගෑනු ළමයෙක් විදියට මමත් ආසයිනෙ විලාසිතා කරල ලස්සනට ඉන්න. ඒත් ඉතින් කවදාවත් ටේරන්ඞ් එක පස්සෙ නම් යන්නෙ නෑ. විලාසිතාවකට ආස හිතුනම මට ගැලපෙනවනම් විතරයි ඒක කරන්නෙ.
කලාකටයුතු වලින් මිදුනට පස්සෙ ටනාෂාගෙ දවස ගෙවෙන්නෙ කොහොමද?
සාමාන්‍යයෙන් නිර්මාණයකට දායක වුණහම රූගත කිරීම් නිසා අපිට විවේකය ලැබෙන්නෙ හරිම අඩුවෙන්. ඒත් නිවාඩුවක් ලැබුණම මගේ සහෝදරියො තුන් දෙනයි අම්මයි එක්ක කතාබහ කරල කාලය ගතකරන එක තරම් සතුටක් මට නැහැ.
එදා පටන් ගත්තු තැන දිහා ආපසු හැරිල බැලූවොත්
වෙඩින් එකකට යන්න ලක ලෑස්ති වෙන්න සැලෝන් එකකට ගිය මට බ්‍රයිඞ්ල් ෂූට් එකකට ආරාධනා ලැබුණා. ඒ හරහා නිරූපණ ක්‍ෂේත්‍රයටත් ටීවී කමර්ෂල් වලටත් සහභාගි වෙන්න අවස්ථාව උදාවුණා. අන්තිමට මගේ හිතේ තිබුණ නිළි සිහිනය සැබෑ වෙලා අද මම රඟපානවා. ආපහු හැරිල බලද්දී අද මම ඉන්න තැන ගැන නිහතමානී ආඩම්බරයක් එක්ක ලොකු සතුටක් තමයි හිතේ තියෙන්නෙ.
ධම්මික හේවාවසම්
දිවයින
