සහරාන් බෝට්ටුවකින් ඉන්දියාවට යවලා - පාස්කු කොමිසමේදී හෙළිවෙයි
Tuesday, 23 June 2020 - 14:33 | Views - 2,422
කොමිසම හමුවේ ඊයේ සවස සිට මධ්‍යම රාත්‍රිය ඉක්මවා යන තුරු සාකෂි ලබාදුන්නේ, හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂවරයකු විසින්.

මෙහිදී ඔහු බුද්ධි තොරතුරක් හදුනාගැනීම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කොමිසම හමුවේ ඉදිරිපත් කළා.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව තොරතුරු ඇතුළත් කරමින් ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් අතර හුවමාරු වී තිබූ, මේ වනවිටත් ජනාධිපති කොමිසමේ වැඩිදුර විනර්ශනයට ලක්වෙමින් පවතින ලිපි කට්ටල දෙකක් හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයාට පෙන්වා ඒවා බුද්ධි තොරතුරු ලෙස හදුනාගැනීමට හැකිදැයි කොමිසම ප්‍රශ්න කළා.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ වැදගත් දේවස්ථානවල එම ප්‍රහාර එල්ල කටන බව මේ ලිපියේ සදහන්, ලෙස සාක්ෂිකරු දීර්ඝ පිළිතුරක් ලබාදුන්නා.

එහිදී හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා වැඩිදුරත් සදහන් කළේ, නිර්ණායක හයම අන්තර්ගත වන බැවින් මෙය නිශ්චිතවම බුද්ධි තොරතුරක් බවයි.

එමෙන්ම මෙවැනි ආකාරයේ තොරතුරක් ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවත් තම සේවා කාලය තුළ මෙවැනි පැහැදිලි සම්පූර්ණ තොරතුරු සහිත ලිපි ලැබී ඇත්තේ එකක් හෝ දෙකක් පමණක් බවත් ඔහු සදහන් කළා.

අනතුරුව ජනාධිපති කොමිසම විසින් මුල් ලේඛන කට්ටලය හා සමානවූත් ඊට වැඩිමනක් ඇතුළත් කර තිබූ තවත් ලිපි කට්ටලයක් පරීක්ෂා කර බලා එහි අන්තර්ගතය පිළිබදව පැහැදිලි කරන ලෙස සාක්ෂිකරුට පැවසුවා.

එම ලිපියෙදි ද බුද්ධි නිර්ණායක හයට පැහැදිලි තොරතුරු ඇතුළත් බවත් පෙර ලිපියට අමතරව ප්‍රහාරය සිදුකර හැකි නම් ලයිස්තුවට "ආමි මොහොමඩ්" යන්නද එක්වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

කෙසේවෙතත් එහි වැඩිදුරටත් සදහන් කර ඇති "කතෝලික පල්ලිවලට හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කරගන්නා බව නිශ්චිතව මෙතෙක් අනාවරණය වී නොමැත." යනුවෙනුත්, " සියලු අන්‍යාගමිකයන් ඝාතනය කිරීම උතුම් ක්‍රියාවක් බවත් අන්‍යාගමිකයන් විනාශ කරමින් ඉස්ලාමය ප්‍රවර්ධනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සහරාන් 2016 සිට සිය අනුගාමිකයන් අභිප්‍රේරණයකර ඇත" ලෙස දෙආකාරයක කරුණු ඇතුළත් කිරීම නිසා මෙම තොරතුරු ඇතුළත් ලිපිය දකින අයෙක් මෙය සැකසහිතව නිරීක්ෂණය කරන බවත් සාක්ෂිකරු සදහන් කළා.

ජනාධිපති කොමිසම එහිදි විමසුවේ එසේනම් මෙම තොරතුර යම් දියාරු කිරීමකට ලක්කර ඇත්ද යන්නයි.

එය නිවැරිදි බව පැවසූ සාක්ෂිකරු සදහන් කළේ ලිපියේ මුල මෙය නිශ්චිත බුද්ධි තොරතුරක් ලෙස දැක්වූවත් අග දක්වා ඇති ඉහත කී කරුණ තුළින් යම් දියාරු කිරීමක් සිදුකර ඇති බවයි.

එමෙන්ම ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට බුද්ධිමය තොරතුරු පිළිබද දැනුමක් ඇති පුද්ගලයකු පත්විය යුතුවුවත් ඒ වනවිට එම ධූරය දැරු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඊට පෙර බුද්ධි තොරතුරු සම්බන්ධ විෂය පථයක් සමග කටයුතු නොකළ බව සාක්ෂිකරු සදහන් කළා.

එහෙයින් ඔහුට මේ පිළිබඳ යම් දැනුම අඩු බවක් තිබෙන්නට ඇතැයි ද සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කළා.

කෙසේවෙතත් මෙම ලිපියෙහි සදහන් සහරාන් හෂීම් පිළිබඳව තම බුද්ධි අංශය මගින් අවස්ථා 9 කදී සහරාන්ගේ අන්තවාදී ප්‍රකාශ හා ක්‍රියා සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන දැනුවත් කළ බව ඔහු කොමිසමට හෙළිකළා.

සහරාන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශ හා බෙදාහැර තිබූ වීඩියෝ ISIS මතයට ඉතා සමාන වූ නිසා ඒ පිළිබඳ කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස තමන් එහිදී දැනුවත් කල බව ඔහු වැඩිදුරත් සදහන් කළා.

කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමට අදාළ සහරාන් හෂීම් වරෙන්තු ලත්ව පොලිසියෙන් සැඟව සිටි නිසා තම බුද්ධි අංශය මගින් සැකකරු සිටින ස්ථාන පිළිබඳ නිරන්තර සොයා බැලීමක් සිදුකළ බව සාක්ෂිකරු සදහන් කළා.

ඒ අනුව වරක් ඔහු මාවනැල්ල ප්‍රදේශයේ සහ කුරුණෑගල ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරු මත සිදුකළ සොයා බෑලීමකදී ඔහු එම ප්‍රදේශයට පැමිණ පිටව ගොස් ඇති බවත් එලෙස ඔහු එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට පළා යමින් සිටින බවටත් තොරතුරු ලැබුනු බව සාක්ෂිකරු සදහන් කළා.

පසුව 2018 දෙසැම්බර් මාසයට පෙර සහරාන් හෂීම් මන්නාරමට පැමිණ එහිදී බෝට්ටුවකින් ඉන්දියාවට ගොස් කාෂ්මීරය දක්වා ගොස් තිබූ බවත් සැකකරුට අයත් යූ ටියුබ් චැනලයක්ට ඉන්දීයාවේ හයිද්‍රාබාද් සිට තවත් වීඩියෝවක් මදාහැර තිබූ බවත් හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා කොමිසමට අනාවරණය කළා.

එහිදී කොමිසම විමසුවේ ඔහු එලෙස ගොස් තිබුනේ කාගේ සහයකින්ද යන්නයි.

එවක ප්‍රබල අමාත්‍යවරයකු වූ රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා වන රිෆ්කාන් බදියුදීන්, සහරාන් හෂිම්ට බොට්ටුවෙන් ඉන්දියාවට යාමට සහය වී ඇති බව ඔහු එහිදී සදහන් කළා.

ඒ වනවිටත් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට නිල නොවන තොරතුරු පැවති බවද සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කළා.

ඒ වනවිටත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනසේ ප්‍රකාශ කරමින් සිටි සහරාන් වැන්නකුට රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ සහෝදරයා සිදුකල මෙම සහය පලකිරීම පිළිබඳව ආරක්ෂක කවුන්සිලය දැනුවත් ක‍ළේදැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා.

තමන් මේ පිළිබඳ එවක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා දැනුවත් කර අඟහරුවාදා දිනක පැවති බුද්ධි රැස්වීමේදී ද කතා කළ බව පැවසූ සාක්ෂිකරු වැඩිදුරත් සදහන් කළේ 2019 මාර්තු 22 වැනිදා මේ පිළිබඳ එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හරහා ජාතික බුද්ධි ප්‍රධානියාගේ අවධානයට ද යොමුකර ආරක්ෂක කවුන්සිලයට දැන්වූ බවයි.

මෙම තොරතුරු දැනුම් දීමෙන් පසු පාස්කු ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලය රැස්වුණේදැයි කොමිසම විමසුවා.

ඉන් පසු ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් නොපැවැත්වුණු බවත් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 20, අප්‍රේල් 02 හා අප්‍රේල් 09 පැවැති බුද්ධි සමාලෝචන රැස්වීම්වලදී තමන් මෙම තොරතුරු ඉදිරිපත් කළද ඒ පිළිබඳ කතාබහක් ඇති නොවූ බවත් ඔහු කොමිසම හමුවේ සදහන් කළා.

මීට අමතරව සහරාන් හෂීම් සම්බන්ධ වූ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයට එවක කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ලෙස සිටි රිෂාඩ් බදියුදීන් සහයෝගය ලබාදුන් බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවා.

ඒ සම්බන්ධයෙන් ද 2017 වසරේදී තමන් විසින් ජාතික බුද්ධි ප්‍රධානියාව දැනුවත් කළ බව ඔහු වැඩිදුරත් සදහන් කළා.

කොමිසම එහිදී විමසුවේ මෙම සියලු තොරතුරු එවක ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත්ව සිටියේද යන්නයි.

සාමාන්‍යයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා බුද්ධි සමාලෝචන රැස්වීම්වලට සහභාගී වන නිසා ඔහු හරහා ආරක්ෂක අමත්‍ය ධූරය දරන ජනාධිපතිවරයා මෙම කරුණු දැනුවත් වන බව හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරත් සදහන් කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top