සාක්ෂි තිබියදී සහරාන් අත්අඩංගුවට නොගත් බව, කාන්තන්කුඩි හිටපු ස්ථානාධිපති පිළි ගනී
Saturday, 20 June 2020 - 13:14 | Views - 477
අන්තවාදී ගැටුම් සම්බන්ධයෙන් සහරාන් හෂීම් මෙන්ම ඔහුගේ සොහොයුරු මොහොමඩ් රිල්වාන් ඇතුළු සිව්දෙනෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබියදී කාත්තන්කුඩි පොලිසිය එය නොසලකා හැර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා.

ඒ, කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ එවක ස්ථානාධිපතිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

කොමිසම හමුවේ ඊයේ රාත්‍රියේ සාක්ෂි ලබාදුන්නේ 2017 වසරේ අගෝස්තු සිට 2020 ජනවාරී දක්වා කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රභාත් කස්තුරිආරච්චියි.

2017 මාර්තු 10 වන දින කාත්තන්කුඩි - අල්ලියාර් මංසන්ධියේදී සහරාන් හෂීම් සහ රවුෆ් මවුලවී නියෝජනය කරන ජාතික තව්හිද් ජමාත් සහ සුන්නතුල් වල් ජමාත් යන සංවිධාන අතර ගැටුමක් ඇතිව තිබුණා.

එහිදී කඩු, කිණිසි සහ පෙට්‍රල් බෝම්බවලින් පහරදීම සම්බන්ධයෙන් ගැටුමෙන් පසු සහරාන් හෂීම්, මොහොමඞ් රිල්වාන්, ආමි මොහොමඞ්, යූසුෆ් අන්වර් යන පුද්ගලයන් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බවත් සාක්ෂිකරු සදහන් කළා.

තමන් සේවයට වාර්තා කරන විටත් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩුවක් පැවතියත් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සහරාන් ඇතුලු‍ පිරිස අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ද සාක්ෂිකරු පැවසුවා.

එහිදී ජනාධිපති කොමිසම විමසුවේ සැකකරුවන් අත්ඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තුවක් ලබා නොගත්තේ මන්ද යන්නයි.

සිද්ධිය සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාව ලැබී නොතිබූ නිසා ප්‍රහාරය සිදුවන තෙක්ම වරෙන්තු ලබාගැනීමට නොහැකි වූ බව ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අධිකරණ වාර්තා පිරික්සු ජනාධිපති කොමිසම එහිදී පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ රස පරීක්ෂක වාර්තාව 2018 වසරේ ජනවාරී මාසයේ 30 වැනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නිකුත් වී තිබු බව සාක්ෂිකරු නොදැන සිටියේද යන්නයි.

තමන් ඒ ගැන නොදන්නා බව පැවසූ කාත්තන්කුඩි හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ එහෙයින් වරෙන්තු ලබා ගැනීමක් සිදු නොකළ බවයි.

ජනාධිපති කොමිසම එහිදී පෙන්වා දුන්නේ, සාක්ෂිකරු පවසන අන්දමින් රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් නොසිට සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය තරම් කරුණු, අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී. වාර්තාවේ අන්තර්ගත වූ බවයි.

කොමිසම වැඩිදුරටත් විමසා සිටියේ 2018 වසරේදී සහරාන් ඇතුළු පිරිස වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමට සාක්ෂි ඇති බව දැන් ඔබ පිළිගන්නේද යන්නයි.

කාත්තන්කුඩි හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා එය පිළිගත්තා.

එසේනම් මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි නොමැති බවට ප්‍රකාශයක් කළේ මන්දැයි කොමිසම ප්‍රශ්න කළා.

සාක්ෂිකරු පැවසුවේ, තමා කළ ප්‍රකාශය වැරදි බවයි.

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මෙම නඩුව සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක්වූයේදැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා.

ඇතැම් ප්‍රතිපාදන ක්‍රියාත්මක නොකළ බව සාක්ෂිකරු එහිදී පිළිගත්තා.

ඔබ, ඔබේ රාජකාරිය හරියාකාරයෙන් ඉෂ්ඨ කර නැති බව පිළිගන්නේදැයි කොමිසම යළිත් විමසා ඇති අතර, එහිදී සාක්ෂිකරු කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා, නිහඬව සිටීම විශේෂත්වයක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top