වසර දෙකක හිඟ ගොවි විශ්‍රාම වැටුප් ලබා දෙන්නැයි ඉල්ලීමක්
Saturday, 20 June 2020 - 8:31 | Views - 486
2012 සහ 2013 වසරවල හිඟ ගොවි විශ්‍රාම වැටුප ගොවීන්ට ලබා දිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කියා සිටියේ ගොවි විශ්‍රාම වැටුපෙන් අය කරන රුපියල් 50 ක මුදල නතර කිරිමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බවයි.
මේ අතර, මෙම මාසයට අදාල ගොවි විශ්‍රාම වැටුප තවමත් නොලැබුණු බවට ගොවීන් චෝදනා කරනවා. සෑම මසකම 9 වන දින සිට 12 වන දින දක්වා ගොවීන්ට අදාළ විශ්‍රාම වැටුප ලැබීමට නියමිත වුවත්, මෙම මාසයට අදාළ වැටුප තවමත් නොලැබුණු බවයි ගොවීන් සඳහන් කළේ.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් අප කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් විමසීමක් කළා.
එහි සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා කියා සිටියේ ගොවි විශ්‍රාම වැටුප එළඹෙන සඳුදා ලබා දීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
එමෙන්ම, ඊට අදාල මුදල් වවුචර් මේ වනවිට තැපැල් කාර්යාලවලට ද ලබාදී ඇති බව ද ඔහු කියා සිටියා.
Share This Article