කංජිපානි ඉම්රාන්ගේ පියාට පහරදුන් අවසන් සැකකරු මෝදරදී අල්ලයි
Friday, 19 June 2020 - 20:14 | Views - 648

බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට මාලිගාවත්ත - සද්ධර්ම මාවත අසලදී තියුණු ආයුධවලින් පහරදී පළාගිය තවත් සැකකරුවෙකු මාලිගාවත්ත පොලිසිය අද අත්අඩංගුවට ගනු ලැබුවා.
රෝගන් නැමැති 19 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ මෝදර පිහිටි සත්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.
මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන දැනට ඉන්දියාවේ වාසය කරන පූකුඩු කන්නාගේ ඥාති පුත්රයෙකු බවට හෙලිවී තිබෙනවා.
පසුගිය 17 වැනිදා ත්රීරෝද රථයකින් පැමිණි 03 දෙනෙකු අදාළ පහරදීම සිදුකර තිබුණේ පූකුඩු කන්නා නැමැත්තාගේ නියෝගයකට අනුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත පොලිසිය ප්රශ්න කළ සැකකරු ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් හිරෝෂී ඉරේෂා අද නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉතිරි සැකකරුවන් තුන් දෙනාගෙන් මේ වනවිට පොලිසිය ප්රශ්න කරමින් සිටිනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලූම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අවසන් බවයි සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
Share This Article