මහත්තයා අක්කගේ බෙල්ලෙන් අල්ලගෙන බිම දාගත්තා. මම ඇඳ උඩ තිබ්බ කොට්ටය අරගෙන අක්කගේ මුහුණ වැහුවා-මහත්තයා එයාගේ ආශාවත් ඉෂ්ඨ කරගත්තා
Friday, 19 June 2020 - 16:10 | Views - 3,696

පසුගිය දිනෙක අම්පාර උහන පොලිස් වසමෙන් සාහසික අපරාධයක් වාර්තා වුණා. ඝාතනයට ලක්ව තිබුණේ කාන්තාවක්. ඇය පනස් පස් හැවිරිදි රන් මැණිකා විජේසිංහ නැමැත්තියක්.
ඒ ඉකුත් මස නම වැනි දිනයි. පාර තොටේ කිසිවෙකු නොවුණේ ඇඳිරි නීතිය නිසායි.
"අක්කේ අක්කේ.." කිසිවෙකු නිවසේ දොරට තඩිබාන හඬ රන්මැණිකාට ඇසුණා. ඇය ඒ වන විට සිටියේ දුරකථන ඇමතුමකයි..
"කවුද ඔය.."
"මම සුරංග.. අක්කේ අනේ අපේ දරුවාට හොඳටම අසනීප වෙලා පැරසිටමෝල් දෙකක් ගන්නයි ආවේ.."
දොරට තඩිබාන පුද්ගලයා කියන්නට වුණා. මේ කතාබහ රන්මැණිකා සමඟ දුරකථනයේ සිටි අයටද ඇසුණා.
"මොකද බං මේ රෑ... උඹ කාත් එක්කද ආවේ.."
සුරංග රන්මැණිකා හොඳින් දන්නා අයෙක්. එලෙසම රන් මැණිකා සමඟ කතාබහේ යෙදෙමින් සිටි පිටස්තරයා ද සුරංග දැන සිටියා.
ඒත් ඒ දිනවල රන් මැණිකා හා සුරංග අතර යම් අමනාපයක් ඇති වී තිබුණේ ණයට බීඩි ඉල්ලා සුරංග රන්මැණිකාට කරදර කිරීම නිසායි.
"අක්කේ මම ගෑනිත් එක්ක ඇවිත් ඉන්නේ. අනේ අක්කේ දරුවට සනීප නෑ. ඒ නිසාමයි ආවේ.."
"ඇය මොකද දරුවට?"
එසේ කියමින් නිවස තුළ තිබූ සිල්ලර කඩය තුළට ගිය ඇය සුරංගට අවශ්‍ය පෙති දෙකක් ගෙන දුන්නා.
"අක්කේ මට බීඩි දෙකකුත් දෙන්නකෝ.."
"බීඩි මෙහේ නෑ. කාමරේ තියෙන්නේ. ඉඳපන් ගෙනත් දෙන්නම්..."
එසේ කියමින් විසන්ධි නොකළ දුරකථනය මේසය උඩ තැබූ ඇය කාමරයට ගියා. පිටස්තරයා දුරකථනය විසන්ධි කළේ පසුදාට කතා කරන්නම් යැයි සිතමිනුයි.
ලාතුගල ගම අයත් වන්නේ උහනබල ප්රදේශයටයි. ඇඳිරිය ක්‍රියාත්මක වෙමින් තිබූ බැවින් උහන පොලිස් නිලධාරින් ලාතුගල හා ඒ අවට ගම්මානවල නිරන්තර සෝදිසි කිරීම්වල නිරත වුණා. ඒ අතරතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථනය නාද වුණා.
"සර්.. ලාතුගල ගමේ ගෑනු කෙනෙක් මරලා දාලා.."
කිසිවකු දැනුම් දුන්නා. වහා ක්‍රියාත්මක වූ පොලිසිය ලාතුගල බලා පිටත් වුණා.
"ටිකක් ඉක්මන් කරලා යමු..."
නිවසට ගිය පොලිසිය මිය ගොස් ඇත්තේ රන්මැණිකා බව අඳුන ගත්තා. උඩුබැලිව වැටී සිටි ඇගේ මුහුණ වැසෙන අයුරින් කොට්ටයක් ද තිබුණා. ඇය හැඳ සිටි ඇඳුම එතරම් ක්‍රමවත්ව නැහැ. නිවසේ ඉදිරිපස දොර විවර කර නොතිබූ බැවින් නිලධාරින් රන්මැණිකාගේ නිවසට ගියේ පිටුපස දොරිනුයි.
රන්මැණිකා මේ නිවසේ ජීවත් වූයේ තනිවමයි. ඇය කලක් මැදපෙරදිග රැකියාවක ද නිරත වුණා. ඇගේ සැමියා නිවසේ නොසිටි අතර ඇගේ පුතා පදිංචිව සිටින්නේ ගම්පහ පෙදෙසෙයි.
ඒ අතරතුර ඇය දැන හඳුනගත් විමලේ හමුදාවේ රාජකාරි කරන අයෙක්. විමලේ ඇය හඳුනා ගත්තේ 'මිස් කෝල්' එකක් නිසයි. විමලේ ඇගේ නිවසටත් යන්න එන්න පටන් ගත්තා. මේ බව රන්මැණිකාගේ පුතා ද දැන ගත්තා. ඒත් ඊට විරෝධයක් එල්ල වූයේ නැහැ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න අපරාධ විසඳීමේ ලා දක්ෂයෙක් වුණා. රන්මැණිකාගේ මරණය ගැන විමර්ශන ඇරඹූ හෙතෙම අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.
"මට මුලින්ම පොඩි සැකයක් ඇතිවුණා. මේ ගෑනූ මනුස්සයා මරලා දාන්න ආපු කෙනා කොහොමද වහපු ගෙට ඇතුළු වුණේ කියලා. මොකද ඉස්සරහා දොරත් වහලා තිබිලා. හැබැයි ලොක් කරලා නැහැ. අනික මම හිතුවා මේක තනියම නෙවේ. අඩුම තරමින් දෙන්නෙක් වත් එකතු වෙලා කරන්න ඕනි කියලා. පස්සේ මම මේක මුලින්ම දැනගත්තේ කොහොමද කියලා ඒ අයගෙන් ඇහුවා.."
විමලේ පසුදා රන්මැණිකාට ඇමතුම් දුන්නත් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. දිගින් දිගටම ඇමතුම් ගත්තද රන්මැණිකාගේ ප්‍රතිචාරයක් නොවූ බැවින් විමලේ ඇගේ පුතාට ඇමතුමක් දුන්නා.
"මම අම්මට කෝල් ගත්තා ගත්තා ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න අම්මට අසනීපයක්ද දන්නේ නෑ..."
රන්මැණිකාගේ පුතා සිය මවගේ නිවසට යාබද මිතුරෙකුට ඇමතුමක් දී කීවේ "අම්මා ෆෝන් එක ආන්සර් කරන් නෑ. පොඩ්ඩක් ගෙදරට ගිහින් බලන්න අම්මට අසනීපයක්ද දන් නෑ.."
මිතුරා එහි ගියේ තවත් මිතුරෙකු ද සමඟයි. නිවසේ ඉදිරිපස දොර වසා තිබුණා. දොරට තට්ටු කළත් දොර විවෘත වූයේ නැහැ. රන්මැණිකාගෙන් කිසිදු ශබ්දයක් ද නැහැ. නිවසේ පිටුපසට ගිය ඔවුන් දුටුවේ පිටුපස දොර විවෘත වී ඇති බවයි.
"කාමරේ බලමු.."
"දෙවියනේ මේ.."
දුටු දෙයින් බිය වූ ඔවුන් මිතුරාට ඇමතුමක් ගත්තා.
"ඒයි උඹලගේ අම්මා..."
"අපි දිගින් දිගටම විමර්ශනය කරද්දි අපිට තේරුණා රන්මැණිකා මරන්න ආ පුද්ගලයා ඒ ගෙදර ටික වේලාවක් ගත කරලා තියෙන බව. ඒ වෙනකොටත් මියගිය කාන්තාව රාත්‍රී ආහාර ගන්න හදපු බත් රයිස් කුකර් ඒකේ තිබුණා. ඝාතකයා ඒ බතුත් කාපු බවක් පෙණුනා. ෆ්‍රීජ් එකේ තිබුණූ බඩුත් අරගෙන ගිහින්. ඒ වගේම මිය ගිය කාන්තාවගේ කරේ කනේ තිබුණු රත්තරන් බඩුත් නෑ. ඒ නිසා මේක තනියම කරන්න පුළුවන් දෙයක් නොවන බව මට තේරුණා.."
"ඝාතකයන්ගේ කිසිදු ඇඟිලි සළකුණක් හමුවුණේ නැහැ. ඒත් අල්මාරිය අවුස්සලා සල්ලි හොයලා තියෙනවා. ඒත් ඒ වගක් නොපෙනෙන්න අවුස්සපු ඇඳුම් ආයේ පිළිවෙලට තියලා තිබුණා.. ගෙදර සල්ලි සේරම අරන් ගිහින්.." ස්ථානාධිපති කරුණාරත්න එසේ සඳහන් කළා.
"අපිට තොරතුරු හුඟක් ලැබුණා. අපි ඒ සේරම ගෙනත් කට උත්තර ලිව්වා. පස්සේ මියගිය කාන්තාව එක්ක දුරකථනයෙන් කතා කරපු හමුදාවේ පුද්ගලයා ගෙන්නන් එයාගෙනුත් ප්‍රකාශයක් ගත්තා.."
පොලිස් විමර්ශන ඊළඟට යොමු වූයේ සුරංග වෙතටයි. ඔහු සිය කාර්යාලයට ගෙන් වූ ස්ථානාධිපතිවරයා ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා. ඔහු කීවේ තමා හා බිරිය පෙති ගන්නට රන්මැණීකාගේ කඩේට ගිය බවත් පසුව ඇය අවදි කොට ඒවා හා බීඩි රැගෙන ගිය බවයි.
ඔවුන් ව මුදා හැරියත් නිලධාරින් ඔවුන් ගැන අවධානයෙන් පසුවුණා.
"කවුද මේක කළේ කියලා කොහොමහරි හොයාගන්න ඕනි.." සුරංග රන්මැණිකාගේ පුතාට කීපවරක්ම කීවා.
"ඔය අතරේ මට තොරතුරක් ලැබුණා, ඔය සුරංග කියන පුද්ගලයයි එයාගේ බිරියයි එදා රෑ රන්මැණීකාගේ ගෙදර ඉඳන් මොනාදෝ බඩු වගයක් උස්සගෙන කැලේ පාරෙන් යනවා දැක්කා කියලා. ඒ තොරතුර ගැන මට විශ්වාසයක් තිබුණා. අපි එනකොටත් මේ දෙන්නගෙන් ප්‍රශ්න කරලා තිබුණේ. මම ආයෙත් සුරංගගේ බිරිය පොලිසියට ගෙනාවා. ගෙනත් ආයෙත් ප්‍රශ්න කළා. ඒත් මෙයා මුකුත් ඒ ගැන කියන්නේ නැහැ. මම කිව්වා අපි සේරම හොයාගෙනයි ඉන්නේ තමන් දන්න දේ කිව්වේ නැත්තම් තමන්ටත් හිරේ විලංගුවේ තපින්න වෙයි කියලා ටිකක් තදින් කතා කළා. ඒ පාර එයා කතාව කිව්වා..."
"සර් මගේ මහත්තයාට අම්පාර උසාවියේ නඩුවක් තියනවා. ඒකට නීතිඥ ගාස්තු ගෙවන්න විදිහක් නැතුව කල්පනා කර කර හිටියේ. ඒකට ඕන මුදල් කාගෙන් හරි ඉල්ලගන්න කෙනෙක් නැති හින්දා මම කිව්වා මහත්තයාට කඩේ අක්කාගේ මාලේ ගමුද කියලා. එයා ඒකට කැමති වුණා.."
"අපි දෙන්නා රෑ දහයට විතර රුපියල් විස්සකුත් අරගෙන රන්මැණිකා අක්කලාගේ කඩේට ගියා. කඩේ වහලා එයා ගේ ඇතුළේ හිටියේ. මම කතා කරලා කිව්වා අක්කේ පොඩි එකාට සනීප නෑ .. දෙන්න කියලා.. ටික වෙලාවකතින් දොර ඇරලා අක්කා දුන්නා. මහත්තයා කිව්වා බීඩිත් ඕන කියලා. බීඩි ගේන්න අක්කා ගේ ඇතුළට ගියාට පස්සේ මහත්තයාත් ගේ ඇතුළට ගිහින් අක්කගේ බෙල්ලෙන් අල්ලගෙන බිම දාගත්තා. මම සාලේ හිටියේ. මහත්තයා මට කිව්වා ඇඳ උඩ තියෙන කොට්ටයක් අරන් මුහුණ වහන්න කියලා.."
"මම ටොච් එක පුටුව උඩින් තියලා ඇඳ උඩ තිබ්බ කොට්ටය අරගෙන අක්කගේ මුහුණ වැහුවා. අක්කා ටික වෙලාවක් දැඟළුවා. පස්සෙ මම අනිත් කාමරයට ගිහින් අක්කගේ අල්ලමාරියේ තිබ්බ සල්ලි දුරකථන සේරම ගත්තා. අපි ඒ ගෙදර තිබුණ හැම දෙයක්ම පෝර උරයකට දා ගත්තා. මහත්තයා එයාගේ ආශාවත් ඉශ්ඨ කරගත්තා. පස්සේ අපි ගෙදර බඩු සේරම අරගෙන අපේ ගෙදර ගියා. මහත්තයාගේ අම්මයි තාත්තයි නිදාගෙන හිටියේ.."
"මහත්තයා බඩගිනි කිව්වා මම උයන්න පටන් ගත්තා. මම බත් උයන අතරේ මහත්තයා අක්කාගෙන් අරන් ආපු ප්ලාස්ටික් කැටය පිළිකන්නේ කජුගහ යට තියෙන පිහියකින් කැපුවා. ඒකේ තිබුණ කාසිත් පර්ස් එකේ තිබුණ සල්ලිත් ගත්තා. සල්ලි ගත්තට පස්සේ පර්ස් එකයි කැටෙයි අපි අරගෙන ආපු ගැළුමේ තිබුණූ පෙට්රල්වලින් ගිනි තියලා දැම්මා. රන්මාලයයි මුද්දයි වහලේ උඩ හැංඟුවා..."
"අපි ගෙනාපු කුකුළු මස් ශුද්ධ කරලා ඉව්වා. මම පරිප්පුයි බතුයි උයලා තිබුණා. අම්මා ඇහැරවලා බත් කන්න කිව්වා. අපිත් බඩ පිරෙන්න එදා රෑ බත් කෑවා. පහුවදා උදේ අක්කගෙන් ගලවන් ආපු රත්රත් මාලෙයි මුද්දයි ගේ පිටුපස ගල අයිනේ හැංඟුවා. කාසි රුපියල් දෙදහස් පන්සියක් පමණ තිබුණා. සිද්ධිය වුණු දවසට පහුවෙනිදා උදේ මම එදා ඇඳන් සිටිය ඇඳුම් සෝදලා දැම්මා. දවල් වුණාට පස්සේ මහත්තයා රාත්‍රීයේ හැඳගෙන සිටි සරමත් හෝදලා දැම්මා.."
ඇය තවදුරටත් කියා සිටියේ රන්මැණිකා හා සැමියා අතර අමනාපයක් ද තිබු බවයි.
ඉන් අනතුරුව සුරංගව ද අත්අඩංගුවට ගනු ලැබුවා. රන්මැණිකා සතුව තිබියදී පැහැරගෙන ගිය රන්මාලය හා දුරකථන දෙකද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
උහන පොලිසිය පවසන පරිදි අත්අඩංගුවට ගත් සැකකරු ගංජා හා බාල අපරාධ නඩුවක් සඳහා ද අධිකරණයේ නඩු පවරා ඇති පුද්ගලයෙක්.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකාරිය අධ්‍යාපනය ලබා ඇත්තේ තුන වසර තෙක් පමණයි. අවුරුදු පහළොවේදී ඇය ඇය සිවිල් ආරක්ෂක අංශයේ අයෙකුගේ අතවරයට ලක්ව තිබුණා. අඩු වයසින් ඇය මවක්වී අනතුරුව අඩු වයසින් විවාහ ගිවිගෙන තිබෙනවා.
-කීර්ති මෙන්ඩිස්-
Share This Article