මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් 2000කට කොරෝනා - 21 දෙනෙක් මරුට
Friday, 19 June 2020 - 14:20 | Views - 4,107

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 1,947 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අවසන් වරට වාර්තා වූ ආසාදිතයා ද ඩුබායි සිට පැමිණ නිරෝධානයට ලක්වෙමින් සිටින අයෙකු බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් 1,421 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
වාර්තා වූ ආසාදිතයින්ගෙන් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 515 ක්.
මේ වනවිට නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 756 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, ඊයේ දිනයේදී සුවය ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 08 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමඟයි.
මේ වනවිට නාවික හමුදාවේ වෛරසය ආසාදනය වූ 142 කු තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළේ.
එසේම, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යන ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වූ නාවික හමුදා සාමාජිකයින් 71 දෙනෙකු අද නික්ම ගිය බවයි ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මේ අතර, මැද පෙරදිග සහ නැගෙනහිර ආසියාතික රටවල රැකියා සඳහා විදෙස්ගත වූ ශ්‍රී ලාංකිකයින් අතරින් 2,000 කට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අතරින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමානාධිකාරී මංගල රන්දෙනිය සඳහන් කළේ.
ඊට අමතරව කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑමට ලක්වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අවශ්‍ය සහන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් ලබාදීමට කටයුතු කර ඇති බවද ඔහු කියා සිටියා.
මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 153 දෙනෙකු අද දිනයේ ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැරීමට කටයුතු කරන බව යුද හමුදාව පවසනවා.
හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේ දින 14 ක කාලයක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ මෙම පිරිස් නිවෙස් වෙත ගිය ද තවත් දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.
දිවයිනේ සියළුම සිනමාශාලා ලබන 27 වැනිදා සිට යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සිනමාහල් මෙලෙස යළි විවෘත කෙරෙන්නේ දින 105 කට පසුවයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඒ සඳහා අනුමැතිය හිමි වන බව සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළා.
සිනමාශාලා නැවත විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඊයේ දිනයේදී ලබාදී තිබුණා.
මේ අතර, චීනයෙන් ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් තිස් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් 25 දෙනෙකුම බීජිංවාසීන් බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ.
පෙරේදා දිනයේදී ද කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු චීනයෙන් හමුවූ අතර, ඉන් 21 දෙනෙකු බීජිං නුවරින් වාර්තා වුණා.
කොරෝනා වෛරසයේ මූලාරම්භය සිදුවූ චීනයේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 83,325ක් වන අතර, මරණ සංඛ්‍යාව 4634 ක්.
කෙසේ නමුත්, ලොව අනෙකුත් රටවල ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ චීනය දැන් පසුවන්නේ වැඩිම පීඩාවට ලක්වූ රටවල් අතර 21 වන ස්ථානයේයි.
එහෙත් මෙලෙස නව ආසාදිතයන් වාර්තා වීමත් සමඟ දෙවන කොරෝන රැල්ලක් රට තුළ ඇතිවීම වැළැක්වීම සඳහා චීනය පියවර ගනිමින් සිටිනවා.
ඒ සඳහා බීජිං අගනුවර ආසන්නයේ පන්ලක්ෂයකට අධික ජනතාවට සංචාර සීමාවන් පනවා ඇති බව සඳහන්.
Share This Article