මම දරුවෝ දෙන්නා එක්ක කොළඹ ගෙදර ආවා, එයා කතරගම, මගේ ජිවිතේ දරුවෝ දෙන්නා තමයි
Friday, 19 June 2020 - 14:02 | Views - 970

භාග්‍යා ගුරුසිංහ. කාලයක් පුංචි තිරයෙන් දකින්න ලැබුණු චරිතයක්. නමුත් විවාහයත් එක්කම ඇය රංගනයට සමු දුන්නා. දැන් දෙදරු මවක් විදිහට ගෘහ ජිවිතයට මුල් තැන දීලා දරුවන් එක්ක සතුටින් කාලය ගත කරනවා. තවමත් බොහෝ දෙනෙකුගේ මතකයේ රැදී සිටින ඇය ගැන අලුත් තොරතුරුයි මේ.
භාග්‍යා ගුරුසිංහ කියලා නිලියක් හිටිය බව බොහෝ දෙනෙකුට මතක ඇති, ඒ නිලියට මොකද වුනේ භාග්‍යා..?
මම විවාහ වෙලා අවුරුදු 5ක් වෙනවා. නිලිකමෙන් අයින් වුනේ විවාහ වෙන්න කලින්. දැන් අවුරුදු හතක ඉදලා මාව දකින්න ලැබෙන්නේ නැහැ. සම්පුර්ණයෙන්ම මම රගපෑමෙන් ඉවත් වුණා.
කොහොමද ගෘහ ජිවිතේ, දරුවන්ගේ වැඩකටයුතු එක්ක කාර්ය බහුල වෙද්දී හිතෙන්නේ නැද්ද ඉක්මණින් විවාහ වුනේ අපරාදේ කියලා..?
කොහෙත්ම එහෙම නම් හිතෙන්නේ නැහැ. දරුවන්ගේ හුරතල් දකිද්දී සතුටුයි. ගෙදර වැඩයි දරුවන්ගේ වැඩයි සේරම කරන්නේ මම. මගේ සැමියා කතරගම දේවාලේ කපු මහත්තයෙක්. එයත් කාර්යබහුල කෙනෙක්. අපි මේ දවස්වල ඉන්නේ නාරාහේන්පිට ගෙදර. මහත්තයා ඇවිත් යනවා. ලොකු පුතා යොන්. එයාගේ වයස අවුරුදු 4යි. පොඩි පුතා ඉනුක. අද එයාගේ උපන් දිනය. අවුරුදු 2යි. දෙන්නා හරිම දගයි. ඒත් අපි සතුටින් ජිවත් වෙනවා. ඉක්මනටම විවාහ වෙලා අම්මා කෙනෙක් වුනු එක හොදයි.
කලාවට සමුදෙන බොහෝ අය ව්‍යාපාරිකයින් වෙනවා. අපිට ආරංචියි භාගයත් ව්‍යාපාරිකාවක් වෙලා කියලා..?
ගෙදරට වෙලා ඉන්නකොට නිදහසේ ඉන්න වෙලාවක් තියෙනවා. ඒ කාලේ මොනා හරි කරා නම් හොදයි කියලා හිතුනු නිසයි මගේ නංගි නිශාදි ගුරුසිංහ එක්ක එකතු වෙලා ව්‍යාපාරයක් පටන් ගත්තේ. ඇදුම් ව්‍යාපාරයක්. අපිට ඇදුම් කර්මාන්ත ශාලාවක් තියෙනවා. නංගි තමයි ඒ හැම එකම ඩිසයින් කරන්නේ. ඒ විලාසිතාවලට හොද ඉල්ලුමකුත් තියෙනවා. අපි ඔන්ලයින් ඕඩර් භාර ගන්නවා.
මම උදෙන්ම නැගිටිනවා, බබාලගේ වැඩ ඉවර කරලා කවලා පොවලා මමත් යනවා ටික වෙලාවක් ව්‍යාපාර කටයුතු වෙන තැනට. පැය දෙක තුනක් ඉදලා එනවා. ආයේ යන්නේ බබාලා නිදාගත්තට පස්සේ. ඒ දෙන්නට මුල් තැන දෙන නිසා නංගි තමයි ව්‍යාපාර කටයුත්ත බලාගන්නේ.
බබා ලැබුනට පස්සේ මහත් වුනු භාග්‍යා ජිම් ගිහින් ඇග හදාගත්තා කියලත් කියනවා..?
බබා ලැබුනට පස්සේ මගේ බර කිලෝ 80ක් වුනා. මාස දෙකකට කලින් තමයි මම ජිම් ගියේ. අපේ ගෙවල් ලග තියෙන ජිම් එකේ අක්කාගේ බලකිරීමට ගියේ. මට ජිම් යන එක කම්මැලි වැඩක්. නමුත් හිතපු නැති විදිහට ඒක සාර්ථක වුනා. කිලෝ 59 වෙනකල් දැන් අඩුවෙලා.
ඒ කියන්නේ කෑම බිමත් පාලනය කරනවා ඇති. සැමියා නීති දන්නේ නැද්ද කෙට්ටු වෙලා ලස්සනට ඉන්න කියලා..?
මට ඉස්සර නම් කන්න හිතෙන දේ කන්නම ඕන. කිසිම පාලනයක් නැහැ. නමුත් දැන් කෙට්ටු ඇග දකිද්දී හිතෙනවා කන බොන ඒවා පාලනය කර ගන්න එක හොදයි කියලා. මට උදේට කන්න වෙලාවක් නැහැ. දවල්ට බබාලට හදන කෑම වලින් ටිකක් කනවා. රෑට එළවලු තබ්බලා කනවා. වැඩිපුරම වතුර බොන්න ඕන. එතකොට කෙට්ටු වෙනවා. බඩගිනි වෙලාවට මම වතුර ගොඩක් බොනවා. එහෙම තමයි මම පාලනය වෙන්නේ.
හස්බන්ඩ් මට කියලා තියෙන්නේ ඕන දෙයක් කාලා බිලා කැමති විදිහට ඉන්න කියලා. එයාට මම කොහොම හිටියත් එකයි. එයාට ඕන මම සතුටින් ඉන්න එක විතරයි.
සැමියා කපු මහත්තයෙක් නිසා කෑම බිම ගැන පරිස්සම් වෙනවද..?
අපි දේවාලෙට යනකොට හැමෝම නිර්මාංශයි. මස් මාළු පිලි ජාති කන්නේ නැහැ. පුතාලා දෙන්නත් එහෙමයි. ඒ දවස් හැරෙන්න එහෙම විශේෂත්වයක් නැහැ. සාමාන්‍ය විදිහට කෑම බිම ගන්නවා.
නිලි ජිවිතෙන් බැහැර වෙලා ඉන්න නිසා විලාසිතා භාවිතා කරන්නේ නැද්ද..?
මම කොහොමත් ලොකුවට විලාසිතා කලේ නැහැ ඒ කාලෙත්. අදටත් එහෙමයි. මට පහසු ඇදුම් භාවිතා කරනවා. කොහොමත් මම කොටට අදින්නේ නැහැ. කැමති නැහැ එහෙම විලාසිතා කරන්න.
පුතාලා දෙන්නෙක් ඉන්න නිසා දුවෙක්ද ඊළගට බලාපොරොත්තුවෙන් ඉන්නේ..?
අප්පෝ දරුවෝ මේ හොදටම ඇති. තව දරුවෝ හදන්න මගේ නම් බලාපොරොත්තුවක් නැහැ. මේකත් එක්තරා විදිහට රැග් එකක් තමයි. ඒ නිසා මේ ඇති.
හර්ෂණී වීරරත්න
Share This Article