අඩි 50ක් පමණ ගැඹුරු මෙරට ඉදිකළ ප්‍රථම සහ එකම දිය යට කෞතුකාගාරය විවෘත කෙරුණේ මෙහෙමයි
Thursday, 18 June 2020 - 8:07 | Views - 770

ශ්‍රී ලංකාවේ පළමු වරට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් සිල්වා විසින් විවෘත කර තිබෙනවා.
දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ගාල්ල මුහුදු තීරයේ මෙම කෞතුකාගාරය ඉදිකර ඇති අතර ඒ නාවික හමුදාවේ පූර්ණ දායකත්වය සහිතවයි.
එමෙන්ම නාවික හමුදාව විසින් කරනු ලැබූ නිර්මාණ රැසක් ද මෙහි ස්ථාපිත කර ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව කියාසිටියේ.
ඒවා සිමෙන්ති සහ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ද්‍රව්‍යවලින් නිර්මාණය කර තිබෙනවා.
එමෙන්ම කාලයක් ගතවීම හමුවේ මෙහි කොරල් පරිසර පද්ධතියක් නිර්මාණය වී එහි අලංකාරය තවත් වර්ධනය වනු ඇතැයි නාවික හමුදාව පෙන්වා දෙනවා.
මෙම කෞතුකාගාරය ගාල්ල වරාය තුල අඩි 50ක් පමණ ගැඹුරක පිහිටා ඇති අතර එහි කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම අයෙකුට පහසුවෙන් නිරීක්ෂණය වන ආකාරයෙනුයි නිර්මාණය කර ඇත්තේ.
ඉතා කෙටි කාලයක් තුල නිර්මාණය කළ කෞතුකාගාරය සඳහා භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි සහ ධීවර යාත්‍රා යොදා ගැනීමට තීරණය කෙරුන ද ඒවා රැස්කර ගැනීමේ අපහසුතාව හේතුවෙන් විවිධ ප්‍රතිමා සහ සමරු ඵලක යොදා ගනිමින් නිර්මාණය කිරීමටයි පියවර ගැනුනේ.
නාවික හමුදාව සඳහන් කළේ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ කොරල්පර යළි වර්ධනය කර ගැනීම මෙන්ම මත්ස්‍ය සම්පත වර්ධනය කර ගැනීම බවයි.
ඉතා නුදුරේදීම සංචාරකයන්ට මෙම ප්‍රදේශයේ කිමිදුම් කටයුතු සිදු කිරීමේ අවස්ථාව හිමිවනු ඇති.
කෙසේවෙතත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු මූලික අවධිය තුල මෙම ප්‍රදේශයේ මසුන් මැරීමට ධීවර ප්‍රජාව කටයුතු නොකළ යුතු අතර මත්ස්‍ය අභිජනණය වර්ධනය වීමෙන් අනතුරුව එහි උපරිම ඵල නෙලා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇතැයි නාවික හමුදාව නිවේදනය කළා.
මෙම කෞතුකාගාරය විවෘත කිරීමේ විශේෂත්වයක් වූයේ නාවික හමුදාපතිවරයා දිය යටදී පීත්ත පටිය කපා එය විවෘත කිරීමයි.
මෙවැනි දිය යට කෞතුකාගාර දෙකක් ත්‍රිකුණාමලය සහ තංගල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා නාවික හමුදාව කියාසිටියා.
Share This Article