ගෙල පෙදෙසට තමයි, වැඩිපුරම හානිවී තිබුණේ. මගේ බිරිඳ බේරගන්න කියලා මම වෛද්‍යවරුන්ට කිව්වා
"මට වඩා මගේ බිරියට මෙම අනතුරින් තුවාල සිදු වෙලා තිබුණා. බිරියගේ ගෙල පෙදෙසට තමයි වැඩිපුර හානිවී තිබුණේ. මගේ බිරිඳ බේරගන්න කියලා මම වෛද්‍යවරුන්ට කිව්වා. ඒත් මගේ බිරිඳ දරුවන් තුන්දෙනාවත් මාවත් අතඇරලා අවසන් ගමන් ගියා.." යැයි ප්‍රකට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වන චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණියගේ මරණ පරීක්ෂණයේදී ඇයගේ සැමියා වන ආනන්ද දසනායක මහතා පැවසුවා.
මෙම රිය අනතුරින් මිය ගොස් ඇත්තේ පිළියන්දල ගොරකාපිටිය සමඟිපුර අංක 59/බී හි පදිංචි වීණාවී සුලක්ඛනා මාපිටිගම නම් 41 හැවිරිදි තිදරු මවක්.
මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය මරණ පරීක්ෂක පාරින්ද කොටුගොඩ මහතා විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පවත්වනු ලැබුවා.
එහිදී සාක්කි දුන් සැමියා මෙසේ ද පැවසුවා.
"මම කුවේට් ගුවන් සමාගමේ ගුවන් සේවකයෙකු ලෙස දැනට සේවය කරනවා. මගේ බිරියත් මීට පෙර එම ගුවන් සමාගමේම ගුවන් සේවිකාවක් ලෙස සේවය කළා. පසුව දරුවන්ගේ කටයුතු නිසා ඇය එම සේවයෙන් ඉවත්ව නිවසේ ජීවත් වුණා..."
"පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා මමත් මගේ බිරියත් 14 වැනිදා සවස මෝටර් රථයෙන් වැල්ලවත්ත ඥාති නිවසකට යමින් සිටියා. එහිදී මායා මාවත පහු කරමින් ඊශ්වර මාර්ගයට හරවනවාත් සමඟ අධික වේගයෙන් ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් අපේ මෝටර් රථයේ ගැටුණා. ඒ සමඟම මෝටර් රථය පසෙකට විසිවුණා. මඳ වේලාවක් යද්දි ඒ ස්ථානයට පොලිස් නිලධාරින් හා අසල්වාසීන් ද පැමිණියා..."
"ඒ සමඟම පොලිසි නිලධාරින්ගේ සහයෙන් සුවසැරිය ගිලන් රථයක් එම ස්ථානයට ගෙන්වාගෙන අපි කළුබෝවිල ශීක්ෂණ රෝහලට රැගෙන ගියා. එහිදී මටත් බිරිඳටත් වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දුන්නා.. මට වඩා මගේ බිරියට අනතුරින් තුවාල සිදු වෙලා තිබුණා. ඇයගේ ගෙල පෙදෙස තමයි වැඩපුර ම හානි වී තිබුණේ. මගේ බිරිය බේරගන්න කියලා මම වෛද්‍යවරුන්ට කිව්වා. ඒත් මගේ බිරිඳ දරුවන් තුන්දෙනාවත් මාවත් අතහැරලා අවසන් ගමන් ගියා. මේ දුක මට දරාගන්න බැහැ. මගේ දරු තුන්දෙනාට මව් සෙනෙහස අහිමි වුණා. අවුරුදු තුන හය සහ දොළහ වයසේ පසුවන දරුවන් තිදෙනෙකුයි මට ඉන්නේ.."
"මගේ බිරිය මිය ගියේ රිය අනතුරකින් බව මම පිළිගන්නවා. මරණය පිළිබඳ සැකයක් නැහැ. බිරියගේ මෘත දේහය මම හඳුන ගත්තා..."
මිය ගිය සුලක්ඛනා මහත්මියගේ පියා වන ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රරත්න මාපිටිගම සාක්ෂි දෙමින් මෙසේ කීවා.
"මගේ දුවත් ඇගේ සැමියාත් මෝටර් රථයෙන් පාමංකඩ ප්‍රදේශයේ නිවසකට යමින් සිටියදී මෙම අනතුර සිදු වුණා. මේ බව දැනගත් සැණින් මම කළුබෝවිල රෝහලට ගියා. ඒ වන විටත් මගේ දුව මිය ගොස් තිබුණා. මේ දුක මට දරාගන්න අමාරුයි.."
"මගේ දුවට දරුවන් තුන්දෙනෙකු සිටියා. මේ දරු තුන්දෙනාට මවක් අහිමි වීම මට දරාගන්න අමාරුයි. මේ දරුවෝ කාටද දැන් අම්මේ කියන්නේ. ඒ නිසා අසරණ දරුවෝ තුන්දෙනාට සාධාරණයක් කරන්න කියලා මම බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.."
කළුබෝවිල ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සී.ඊ. රණසිංහ මහතාගේ වෛද්‍ය වාර්තාව හා ඉදිරිපත් වූ සාක්කි අනුව මිය ගිය කාන්තාව රිය අනතුරකට ලක්ව ගෙල ප්‍රදේශයට සිදුව තිබූ බරපතළ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බව කළුබෝවිල හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා නිගමනය කළා.
පසුව මෘත දේහය මියගිය කාන්තාවගේ පියා වන ප්‍රකට චිත්‍රපට අධ්යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාට බාර දෙනු ලැබුවා.
රිය අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු දැනට නාරහේන්පිට පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ලබන අතර අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා පෙරේදා (15) එම රෝහලට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව සැකකරු ලබන 29 දක්වා රිමාන්ඩ් ගත කිරීමට නියෝග කළා.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
බිමල් ශ්‍යාමන් ජයසිංහ
(මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්.)