කොරියානු රාජ්‍යයන් දෙක අතර පිහිටුවා තිබුණ දෙරටේ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියානු පාලනය විසින් පුපුරුවා හරිනු ලැබිණි.
එම කාර්යාලය පිහිටුවා තිබුණේ දෙරට අතර පිහිටි 'කෙසොන්ග්' ( Kaesong) දේශසීමා නගරය අසලය.
කොරියානු දේශසීමාවේ යුද ක්‍රියාකාරකම් පිළිබඳව යළිත් අනතුරු ඇඟවීමක් කරනු ලැබීමෙන් පසුව එම පුපුරුවා හැරීම සිදුකොට ඇත.
2018 වසරේ ආරම්භ කරන ලද එම සම්බන්ධතා කාර්යාලය පිහිටුවා තිබුණු භූමිභාගය උතුරු කොරියාවට අයත් වන අතර, එය දෙරට අතර පණිවුඩ හුවමාරුව සඳහා උපයෝගී කර ගනු ලැබිණි.
කොරෝනා වෛරස් වසංගතය පැතිර යාමත් සමග වසා දමන ලද එම සම්බන්ධතා කාර්යාලය පසුගිය ජනවාරි මාසයේ පටන් හිස්ව පැවතිණි.
කොරියානු රාජ්‍යයන් දෙක අතර පසුගිය සති කිහිපය තිස්සේ පැවතුණේ ගැටුම්කාරී පරිසරයකි.
උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට පලා විත් සිටින කණ්ඩායම් විසින් දේශසීමාව ඔස්සේ යවනු ලබන ප්රචාරක පණිවුඩ එම ගැටුම්කාරී තත්ත්වය ප්‍රකෝප කිරීමට හේතුවිය. උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය වන කිම් යෝ-ජොන්ග් (Kim Yo-jong) පසුගිය සති අන්තයේ ප්‍රකාශයක් කරමින්, ඉහත කී කාර්යාලය විනාශ කරන බවට අනතුරු ඇඟවීමක් කර තිබිණි.
කොරියානු වේලාවෙන් අපරභාග 2.49 ට පිපිරීමක් සිදු වූ බව 'එකමුතුවීම' භාර දකුණු කොරියානු ඇමතිවරයා විසින් තහවුරු කරනු ලැබ ඇත.සිය භූමියට ප්රචාරක පණිවුඩ එවීමට ඉඩ සලසන බවට චෝදනා කරමින් පසුගිය සති කීපය තුළ උතුරු කොරියාව විසින් 'සෝල්' පාලනය හෙළා දකිනු ලැබිණි.
උතුරු කොරියාවෙන් පලා විත් සිටින කණ්ඩායම් සිය පැරණි වාසභූමිය කරා ප්රචාරක පණිවුඩ නිරන්තරයෙන් යවනු ලබන්නේ බැලූන් පමණක් නොව, ඩ්‍රෝන යානා (drones) ආදිය පවා උපයෝගී කර ගනිමිනි.
පසුගිය සතියේ අඟහරුවාදා (ජූනි 09) ප්‍රකාශයක් කළ උතුරු කොරියානු පාලනය 'සෝල්' පාලනයත් සමග සියලු නිල සබඳතා කපා හරින බව නිවේදනය කළේය.
උපුටාගැනීම- BBC