පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදී තවත් හෙළිදරව්වක්
Tuesday, 16 June 2020 - 13:59 | Views - 836

2015 පසු බලයට පැමිණි යහපාලන රජය ඉස්ලාම් අන්තවාදය පිළිබඳ තමන් පැවසු කරුණු කෙරෙහි අවධානය යොමු නොකළ බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.
උන්වහන්සේ මෙම කරුණු අනාවරණ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ රාත්‍රියේ දෙවන දිනටත් සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.
සාක්ෂි ලබාදෙමින් ඥානසාර හිමියන් සඳහන් කළේ කුරාණයේ ඉගැන්වීම් වලින් ඔබ්බට ගිය හදීස් හි සඳහන් දේ තුළ වහබ් වාදයේ සහ අන්තවාදයේ ව්‍යාප්තිය සිදුවන බවයි.
පහළ ශ්‍රේණි වල රජයේ ඉස්ලාම් පෙළපොත්වල “හදීස් හදාරා යහගුණ ඇත්තෝ වෙමු” යනුවෙන් සදහන් කර තිබුණද, එම හදීස් ඉගැන්වීම සිදුවන උසස් පෙළ නිර්දේශිත පොත් වල සදහන් වන්නේ අන්‍යාගමිකයන් මරාදමන්න යන්න බව උන්වහන්වහන්සේ පෙන්වා දුන්නා.
මුළු මහත් සමාජයම අවනත විය යුත්තේ එකම දෙවියන් වන අල්ලාට පමණක් බවද, කිසියම් තැනැත්තෙක් ඉස්ලාම් ආගම අතහැර ගොස් දින තුනක් තුළ ඒ පිළිබද පසුතැවී නැවත හැරි නොඑන්නේ නම් ඔවුන් මරාදමන ලෙස මෙම හදීස් වල සදහන්ව ඇතැයිද ඥානසාර හිමියන් පැහැදිලි කළා.
මෙරට තුළ ක්‍රියාත්මක තවත් අන්තවාදි සංවිධාන කිහිපයක් පිළිබද තොරතුරු ඊයේ දිනයේත් උන්වහන්සේ කොමිසමට අනාවරණ කළා.
වාමි හෙවත් ලෝක මුස්ලිම් තරුණ සංවිධානයේ ක්‍රියාකාරිත්වය මෙරට තුළද පැහැදිලිව දක්නට ලැබෙන බව පෙන්වා දුන් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ එහි ප්‍රධාන කාර්යාලය දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පිහිටා ඇති බවයි.
අයි.එස් සංවිධානයේ අන්තවාදි ක්‍රියාකාරකම් හා සම්බන්ධ වී මියගිය මෙරට පළමු පුද්ගලයා වන නිලාම් නැමැත්තාද මෙම වාමි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු බව උන්වහන්සේ පෙන්වා දුන්නා.
නිලාම් නැමැත්තාගේ බාල සහෝදරයෙකු මේ වන විට අයි. එස් සංවිධානයේ අධ්‍යාපන අංශය තුළ කටයුතු කරන අතර නිලාම්ගේ මස්සිනාවරු දෙදෙනෙකු වන තාකිර් සහ තාවුෂි යන දෙදෙනා අයි.එස් සංවිධානයේ දුරකථන දෙපාර්තමේන්තුව තුළ සේවය කර ඇති බවත්, ඔවුන්ද මේ වන විට මියගොස් ඇති බව උන්වහන්සේ අනාවරණ කළා.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කලේ තාකිර් නැමැත්තාගේ බෑනා වන සුහේර් නැමැත්තා අයි.එස් සංවිධානයේ භෞතික චිකිත්සකවරයෙකු ලෙස ක්‍රියාකර ඇති බවයි.
හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාගේ පුත්‍රයාගේ නමට ලියාපදිංචිව පවත්වාගෙන යන හිරා පදනමද අන්තවාදි මතවාදයක් වන ජමාතේ ඉස්ලාම් මතවාදය අනුව යන්නක් බව සදහන් කළ ඥානසාර හිමියන් වැඩිදුරටත් පැවසුවේ හිස්බුල්ලාද ජමාතේ මතවාදය දරන්නෙකු බවට තමන් අනුමාන කරන බවයි.
මෙහිදි ජනාධිපති කොමිසම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්, තවුහිද් මත වාදය පිටුපස සිටින බවට ඥානසාර හිමියන් විසින් මීට පෙර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.
එහිදි උන්වහන්සේ සඳහන් කළේ වරක් මැතිවරණ අවස්ථාවක රිෂාඩ් බදියුදින් හිටපු අමාත්‍යවරයා විසින් ඔහුගේ බිරිද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කැඳවාගෙන පැමිණියේ සම්පුර්ණයෙන්ම මුහුණු ආවරණය කර ඇස් පමණක් පෙනෙන පරිදි බවයි.
එසේම මඩකලපුව, වව්නියාව,පුත්තලම, අම්පාර වැනි ප්‍රදේශ වල රිෂාඞ් බදියුදින්ට ඇති වත්කම් පදනම් කරගෙන ඔහු විශාල ආධිපත්‍යයක් පතුරුවාගෙන සිටින බවද ඔහුගේ සහෝදරයෙකු වර්තමානය වන විට අත්අඩංගුවට පත්ව තිබීම තුළ රිෂාඩ් බදියුදින්ද වහබ්වාදි මතදරන්නෙකු බව තහවුරු වන බවද ඥානසාර හිමියන් ජනාධිපති කොමිසමට පැහැදිලි කළා.
මෙහිදි ජනාධිපති කොමිසම උන්වහන්සේගෙන් විමසා සිටියේ මෙරට තුළ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදි සංවිධානවල ව්‍යාප්තිය පිළිබඳ මුල්වරට රජය දැනුවත් කළේ කුමන කාලයේද යන්නයි.
එයට පිළිතුරු දෙමින් ඥානසාර හිමියන් සදහන් කළේ 2014 වර්ෂයේ එවකට පැවති රජය විසින් තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමකට කැදවා තිබුණු අතර එහිදි තවුහිද් ජමාත් මතධාරින් සම්බන්ධයෙන් මෙන්ම මද්රසා පාසල්හි සිදුකරන අන්තවාදි දේශන වැනි කරුණු 25ක් පිළිබදව තමන් දැනුවත් කළ බවයි.
අදාළ රැස්වීමට එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ, බුද්ධි නිලධාරින් වන බ්‍රිගේඩියර් හෙන්ද විතාරණ සහ සුරේෂ් සලේ ද සහභාගි වු බව ඥානසාර හිමියන් පැවසුවා.
මෙම රැස්වීමෙන් පසුවද විටින් විට මෙවැනි සාකච්ඡා පැවති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාම් අන්තවාදය පිළිබඩ් සොයා බැලීමට වෙනම බුද්ධි ජාලයක් යෙදවීමට එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ බව උන්වහන්සේ ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළා.
කෙසේ වෙතත් 2015 නව ආණ්ඩුවක් බලයට පැමිණීමත් සමග අන්තවාදය පිළිබද තමන් ලබාදුන් තොරතුරු පිළිබද කිසිදු සොයාබැලීමක් සිදු නොකළ බව පෙන්වාදුන් ඥානසාර හිමියන් වැඩිදුරටත් සදහන් කළේ අවම වශයෙන් තමන් කළ පැමිණිළි පවා පොලිසිය විභාග නොකළ බවයි.
Share This Article