තව මට අවුරුදු දහයක් වැඩ කළොත් ඇති. ඊට පස්සේ දරුවෝ ගෙනත් දෙන දෙයක් කාලා නිදහසේ ඉන්න පුළුවන්
Tuesday, 16 June 2020 - 11:24 | Views - 484
ඇත්තටම 'නෝනා එපා කොරෝනා' කියලා වුණේ අලුත් වැඩක්. මගේ මිත්‍රයෙක් වුණු සුජීව ඇන්තනි සහ ඔහුගේ බෑන්ඩ් එක ගීතයක් කරලා තිබ්බා. කොරෝනා නිසා ගෙදරට වෙලා හිටපු කාලසීමාවේ අපිට කිසිම දෙයක් කරන්න හිතුණේ නැති කාලයක් තිබුණනේ.

මම පහුගිය අවුරුදු තිහක විතර කාලයක් කොච්චර කාර්යබහුල වෙලා හිටියත් චිත්‍රපට බලන්න, සින්දු කියන්න, පොත් කියවන්න, ගිටාර් ගහන්න කාලය හදාගත්තනේ. නමුත් කොරෝනා බියත් එක්ක අපිට පහුගිය කාලේ හිස් අවධියක් ගෙවන්න වුණා. කොරෝනා නිවාඩුවට කලින් ජෝජ් කියන මිත්‍රයයි මමයි යූ ටියුබ් චැනල් එකක් කරන්න හිතුවට ඒක කරන්න ලැබුණේ නැහැ. ඉතිං පහුගිය කාලේ මගේ මල්ලි යෝජනා කළා යූ ටියුබ් චැනල් එකක් කරමු කියලා. පහුගිය කාලේ කොරෝනා තත්ත්වය ජෝක් එකක් වුණු අවස්ථා අපි දැක්කනේ. මේ සමාජයේ විවේචනාත්මකව දැක්ක දේවල් එකතු කරලා වීඩියෝවකුත් කරලා ගිහාන්ස් Ice cream කියන මගේ යූ ටියුබ් චැනල් එකෙන් මුලින්ම ඔය ගීතය එළියට දැම්මා.

කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්න වුණ කාලයෙන් ගිහාන් ගත්ත ප්‍රයෝජනය ජනප්‍රිය වුණා නේද?

ඔව්. අපි බොහෝ දෙනෙක්ට පවුලත් එක්ක ගත කරන්න තිබ්බ කාලය අඩුවෙලා තිබ්බනේ. අපේ අත්දැකීම් එකතු කරලා නෝනා එපා කොරෝනා කියලා කළ වැඩේට හොඳ ප්‍රතිචාර ලැබුණා. මම විවේක කාලයෙන් ප්‍රයෝජනයක් ගත්තා. සමාජ, දේශපාලන වශයෙන් අපිට තියෙන මතය එළියට දාන්න යූ ටියුබ් කියන්නේ හොඳ තැනක්. රූපවාහිනියේ, වේදිකාවේ කියන්න බැරි දේ අපිට මේ හරහා පහසුවෙන් බෙදා හදාගන්න පුළුවන්. ගිහාන්ස් Ice cream කියන යූ ටියුබ් චැනලය ඇතුළේ විවිධ රස දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් Ice cream රසයි. විවිධ රසැති අයිස් ක්‍රීම් තියෙනවා. ඉතින් මේ ඔක්කොම දේවල් එක්ක තමයි මම මේ නමින් යූ ටියුබ් චැනලයක් පටන් ගත්තේ. ජෝජ් මගේ මිත්‍රයා, හේමාල් ප්‍රනාන්දු මගේ මල්ලි සහ මොවිදු, වරුණ කියන පිරිසක් එකතු කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. අපි උත්සාහ කරනවා මාසයකට වීඩියෝ කිහිපයක්ම එයින් එළියට ගේන්න. මගේ හිට් ඇක්ට් රංගන පාසලේ ළමයිනුත් ඉදිරියට මේ වැඩවලට එකතුවෙයි. ඉඳුල් නොවුණු නවකයන් එකතු කරගෙන හොඳ වැඩ ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා.

රූපවාහිනියේ හෝ වෙනත් තැනක ඔබට ප්‍රකාශනයට ඉඩ නැති දෙය වාරණයකින් තොරව එළියට ගේන්නද මෙය තෝතැන්නක් කරගත්තේ?

මම මට දැනෙන දේ තමයි කියන්න උත්සාහ කරන්නේ. නමුත් කලාව කරද්දි සදාචාරාත්මක වාරණයක් තිබිය යුතුයි. මේක ඇතුළෙත් සදාචාරාත්මක වාරණ තියෙනවා. ලිංගික දේවල්, ඕපදුප සහ අනෙක් අයට අපහස කරලා Views වැඩි කරගන්නවට වඩා හොඳ දෙයක් වෙනුවෙන් මේ තෝතැන්න වෙන් කරගන්න පුළුවන්.

'නෝනා එපා කොරෝනා' වීඩියෝවේ ඉන්නේ ඔබේ කවුද?

ඒ වීඩියෝවේ ඉන්නේ මගේ මල්ලිගේ බිරිය. අපේ පවුලේ ඉන්නේ මමයි, නංගිලා දෙන්නයි, මල්ලියි. අපේ පවුලට පිටතින් එකතු වුණු නෑනලා මස්සිනාලා එකතු වුණාම ඉතිං විනෝද සමයක් වගේ තමයි.

ගෙදරට වෙලා ඉන්න වුණු කාලය ඔබට ගෙවා ගන්න ඇත්තටම අමාරු වුණේ නැද්ද?

නැහැ. මම ගෙදර ඉන්න ලැබුණු කාලය වින්දා. කලාව ගැන ගොඩක් දේවල් හෙව්වා. දැන් අන්තර්ජාලයෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. විවිධ දේවල් සම්බන්ධයෙන් ලෝකයේ කෙරුණු වාර්තා වැඩසටහන්, රූපවාහිනි නාළිකාවලින් විකාශය වූ ලෝකයේ වේදිකා නාට්‍ය නැරඹුවා. ගොඩක් චිත්‍රපට බැලුවා. ගෙදරට වෙලා ඉන්න වුණු කාලය අපතේ ගියේ නැහැ.

කලාව තෝරාගැනීම ගැන සමහරු ඉන්නේ කලකිරීමෙන්. ඔබට එවැනි කලකිරීමක් නැද්ද?

නැහැ. කොහෙත්ම නැහැ. කලාව තෝරා ගැනීම ගැන මම උද්දාමයට පත්වෙලා ඉන්නේ. ඇත්තටම තමන් කැමැති දේ කරන්න ලැබීම එක්තරා විදිහකට වාසනාවක්. මම කලාව උපතින් ගෙනාව දෙයක් නෙමෙයි. රංගනයට එන්න සූදානම් වෙලා අධ්‍යයනය කරමින්, ඒ දේවල් නිර්මාණවලට එකතු කර ගනිමින් මම මේ ගමන යන්නේ. රංගනය කියන්නේ ලෝකයේ වාසනාවන්තම රස්සාව. අපි කරන දේ විඳිමින් කරනවා නම් අපිට ඊට වඩා දෙයක් නැහැ. තමන් කරන රස්සාව ආයුධයක් හෝ ආඩම්බර කෑල්ලක් කරගන්න උත්සාහ නොකර ආසාවෙන් කරනවා නම් කලාව තෝරා ගැනීම ගැන කලකිරෙන්න දෙයක් නැහැ. රස්සාව කවදාවත් කරුමයක් කියලා හිතන්න හොඳ නැහැ. ආසාවෙන් කරන්න ඕනේ.

සමහර රංගන ශිල්පීන් කොමඩි කළාම කොමඩි රංගන ශිල්පීන් කියන කොටසට විතරක් සීමා වෙනවා. ආයෙත් ඔවුන්ට වෙනත් වර්ගයේ නිර්මාණයකින් එළියට එන්න ලැබෙන්නේ නැහැ. ඒත් ඔබට එහෙම වුණේ නැති රහස මොකක්ද?

මට එහෙම කොටුවෙන්න වුණේ නැහැ. ප්‍රේක්ෂකයෝ කොමඩිවලට කැමැති නිසා පසුගිය කාලේ කොමඩි නිර්මාණ කිහිපයක වැඩ කරන්න වුණා. ප්‍රියංකර රත්නායක ආචාර්යවරයා කියන දෙයක් තමයි, හොඳ කොමඩි නළුවෙක්ට හොඳ ට්‍රැජඩි නළුවෙක් වෙන්නත් හොඳ ට්‍රැජඩි නළුවෙක්ට හොඳ කොමඩි නළුවෙක් වෙන්නත් පුළුවන් කියන එක. මම ඔහුගේ ඊඩිපස් නාට්‍යයේ රඟපාන ගමන් බල්ලොත් එක්ක බෑ නාට්‍යයෙත් රඟපෑවා. එක දෙයකට හිරවෙන්න නරකයි. එහෙම කොටු නොවී ඉන්න ලැබෙන්නේ කිහිප දෙනාටයි. අපි කරන දේ බලනවාද නැද්ද කියලා ප්‍රේක්ෂකයෝ තීරණය කරයි. අපිට කරන්න තියෙන්නේ මිනිස්සු රසවිඳින දේවල් කිරීම. ලංකාවේ ප්‍රේක්ෂකයෝ නිර්මාණවලට බෙදිලත් ගහගන්නවා. ඒවටත් කල්ලි හදාගන්න එක අපරාදේ. අපි විවිධ වර්ගයේ නිර්මාණ කරමු. ඒවායින් ප්‍රේක්ෂකයෝ තෝරගෙන කැමැති දේ රසවිඳියි.

ඔබ රංගන ක්‍ෂේත්‍රයට ඇවිත් දශක තුනක් වෙනවා. මේ වෙනකොට ඔබේ මූල්‍යමය අගය ඉහළ තැනක රඳවලා තිබෙනවා නේද?

මම ලංකාවේ වැඩි මිලකට විකිණෙන නළුවෙක්. මම ඒ තැන හදාගත්තේ එක රැයකින් නොවෙයි. මගේ රංගනය ඉල්ලන කෙනෙක් ලෝබකමින් ගෙවීම් කරන්නේ නැහැ. මීට වඩා ඔබව වටිනවා කියලා කියන්නේ. මේ රට ඉන්දියාව හෝ ඇමෙරිකාව හරි නෙමෙයි. අපේ රටේ කලාකරුවන්ගේ මිල නිෂ්පාදනය අනුව තීරණය වෙන්නේ. ඊට සරිලන සාධාරණ මිලක් මම ගන්නවා. මට සුපිරි ජීවිතයක් ගත කරන්න ඕනේ නැහැ. තව මට අවුරුදු දහයක් වැඩ කළොත් ඇති. ඊට පස්සේ දරුවෝ ගෙනත් දෙන දෙයක් කාලා නිදහසේ ඉන්න පුළුවන්.

ඔබ දියණියන් තුන් දෙනකුගේ පියෙක්?

ඔව්. මට දුවලා තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් විවාහ වෙලා. තව දුවෙක් අපි ළඟ ඉන්නවා. තව ටික දවසකින් මම සීයා කෙනෙක්.

දුවලා කලාවට ළැදි නැද්ද?

එයාලා කලාව රසවිඳිනවා. මගේ නිර්මාණ බලනවා. නමුත් ඔවුන් කලාවට යොමු වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය තීන්දු තීරණ ගන්න මම ඉඩ තියලා තිබ්බා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම


Image may contain: 1 person, outdoor and nature
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top