කොරෝනා වැළඳී සුවය ලබා, ගෙදර ආ කාන්තාවකට යළිත් කොරෝනා
Tuesday, 16 June 2020 - 8:13 | Views - 3,279

කොරෝනා වෛරසය වැළදී සුව වී නිවසට පැමිණි අනුරාධපුර - කැබිතිගොල්ලෑව - හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට යළිත් කොරෝනා වෛරසය වැළදී තිබෙනවා.
ඒ හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමු කළ බවයි අනුරාධපුර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
36 හැවිරිදි මෙම කාන්තාව පසුගිය මස 18 වන දා කුවේටයේ සිට මෙරටට පැමිණ පසුව කොරෝනා රෝග ලක්ෂණ පහල වීම හේතුවෙන් හෝමාගම රෝහලට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය මස 28 වනදායි.
ඉන් අනතුරුව මීට දින දෙකකට ඉහත දී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකින් පසු ඇයට සුව වී ඇති බව පවසා නිවසට පිටත් කර හැර ඇති බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම, නව ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දිනයේදීත් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1905 දක්වා ඉහළ ගියා.
එම පිරිසෙන් 13 දෙනෙකුම විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වන පුද්ගලයින් වන අතර අනෙක් තුන් දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව ද ඊයේ දිනයේදී 1342 දක්වා ඉහළ ගියේ තවත් ආසාදිතයින් 55 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා පිටව යාමත් සමඟයි.
මීට අමතරව ඉරාන ජාතිකයින් 85 දෙනෙකු රැගත් එරට ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ටෙහෙරාන් නුවර සිට ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
මොවුන් සියළු දෙනා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක උමා ඔය ව්‍යාපෘතියේ සේවය කරන පිරිස් බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙම පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
Share This Article