අධිවේගී මාර්ගයේ ධාවනයේදී ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටළුවක් වන අධික වෙහෙසකර බව හා නිදිමත වීම පිළිබඳව පසුගියදිනවල බොහෝදෙනෙකු අතර කතාබහක් ඇතිවූවා.
කෙසේ වෙතත් අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ නිදිමත ඇතිවන අවස්ථාවකදී අධිවේගී මාර්ගය දෙපස අනාරක්ෂිත ලෙස වාහනය නතර කර ඒ තුල සුළු හෝ නින්දකට යාම සදහා අවසර නොමැති බවයි.
ඔවුන් අදාළ නිවේදනය මගින් පෙන්වාදෙන්නේ එවැනි අවස්ථාවක ලඟම ඇති අන්තර්හුවමාරුව තුලින් වාහනය පිට වී අවශ්‍ය විවේකය ආරක්ෂාකාරී ලෙස ලබා ගැනීම බවයි.
එහිදී ජනතාව විසින් අනුගමනය කළයුතු පියවර රැසක් අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය විසින් ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා.
මීට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගයේදී හැකි සෑම විටකදීම වැලිපැන්න සේවා ස්ථානය(44km) වෙත ලඟා වීම සුදුසු බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එසේ අපහසු නම් පමනක් ආරක්ෂාකාරී ලෙස මාර්ගයෙන් වාහනය ඉවත් කර ද්විත්ව ලාම්පූ දල්වා 1969 අංකය අමතා එම නිළධාරින් විසින් ලබා දෙන උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදින ලෙසද එම නිවේදනයේ සඳහන් වනවා.
ආපදාවක් හෝ අනතුරක් නොමැතිව නිසි අවසරයකින් තොරව අධිවේගී මාර්ගය දෙපස වාහන නැවත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ වනවිට වාර්ථා වී ඇති රිය අනතුරුවලින් විශාල රිය අනතුරු සංඛ්‍යාවක් සිදු වී ඇත්තේ අනාරක්ෂිත, වෙහෙසකර ලෙස රිය ධාවනය හා අනාරක්ෂිත ලෙස මාර්ගය දෙපස වාහන නවතා තැබීම හේතුවෙන් බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
එසේම අධිවේගී මාර්ගයට වාහනය ඇතුළු කිරීමට ප්‍රථම ශාරිරික වෙහෙසකර භාවය පිළිබඳ අවබෝධ කරගැනීම රියදුරුගේ වගකීමක් වන බවත් ඔබ බීමත් නම්, ඖෂධ භාවිතා කර හෝ අවශ්‍ය තරම් නින්දක් ලබා ගැනීමට අපහසු වූ අයෙකු නම්, වෙහෙසකර ක්‍රියාවක සිදු කර පැමිණෙන අයෙකු නම් අධිවේගී මාර්ගය භාවිතා කිරීම සුදුසු නොවන අතර අධිවේගී මාර්ගයට ඇතුළු වීමට ප්‍රථම ඔබගේ ගමනාන්තය තෙක් ගමන් කිරීමේ හැකියාව පිළිබඳ අවබෝධ කරගත යුතු බවයි එහි සඳහන් වන්නේ.
අධිවේගී මාර්ගය යනු උපරිමය පැයට කිලෝමීටර් 100ක වේගයක් පවත්වා ගනිමින් රිය ධාවනය වන මාර්ගයක් නිසා මෙම මාර්ගය තුල සිදුවන සුළු අත්වැරදිමක් හෝ නොසැලකිල්ල නිසා විශාල රිය අනතුරු සිදු වීමට ඉඩකඩ වැඩි බවයි අදාළ නිවේදනයෙන් ඔවුන් පෙන්වාදී ඇත්තේ.