ඉන්දියාවේ කොරෝනා ප්‍රතිකාර සඳහා දුම්රිය මැදිරි
Monday, 15 June 2020 - 13:35 | Views - 566

කොවිඞ් 19 දෙවන රැල්ලක අවධානමකට මුහුණ දී සිටින චීනයෙන් අදත් නව ආසාදිතයන් 49 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් 36 දෙනෙකු ම බීජිං නගරයෙන් වාර්තා වන බවයි.
මේ වනවිට කොවිඩ් 19 ව්‍යාප්තියේ දෙවන රැල්ලක අවධානමකට චීනය මුහුණ දී සිටින අතර එහි නවතම කේන්ද්‍රස්ථානය බවට බීජිං අගනුවර පත්ව තිබෙනවා.
අද දිනයේ වාර්තා වන නව රෝගීන් 36 දෙනා ද සමඟින් බීජිං අගනුවරින් පසුගිය දින 4 තුළ වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 51ක්.
මේ අනුව වෛරසයේ ව්‍යාප්තිය පාලනයට ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් බීජිං හි දකුණු දිග ෆෙන්ටායි දිස්ත්‍රික්කයේ කොමියුනිස්ට් පක්ෂ නියෝජ්‍ය ප්‍රධානියා ධූරයෙන් ඉවත් කිරීමට කොමියුනිස්ට් පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
මේ අතර කොරෝනා සීග්‍රයෙන් ව්‍යාප්ත වන රටවල් අතර සිව්වන ස්ථානයට පත්ව ඇති ඉන්දියාවේ රෝහල්වල ඉඩකඩ සීමාවීම හේතුවෙන් දුම්රිය මැදිරි 500ක් ඇඳන් 8000කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර වාට්ටු ලෙස සුදානම් කිරීමට එරට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.
ඉන්දියාවේ මේ වනවිට කොරෝනා මරණ 9520ක් වාර්තා වන අතර ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ තුන් ලක්ෂ 33, 008ක් ලෙසයි.
එමෙන්ම දෛනිකව වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් හා මරණවල අඩුවීම සැලකිල්ලට ගනිමින් ප්‍රංශය අද සිට තවදුරටත් නිරෝධායන හා සංචාරක සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එරට ආපනශාලා සහ සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ සියලූම ආයතන අද සිට විවෘත කිරීමටයි රජය පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම වැඩිහිටි නිවාසවල සිටින තම දෙමාපියන් මුණගැසීමටද එරට ජනතාවට අවස්ථාව ලබාදී ඇති අතර, යුරෝපීය රටවල් සඳහා දේශසීමා විවෘත කිරීමටද ප්‍රංශය කටයුතු කර තිබෙනවා.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සඳහන් කළේ කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණදීමට තම රජයට හැකිවූ බවයි.
මේ අතර පේරු රාජ්‍යයේ සංචරණ සීමා හා නිරෝධායන රෙගුලාසි කඩකරන පුද්ගලයන්ට එරට ආරක්ෂක අංශ කස පහර එල්ල කිරීමට කටයුතු කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ලොව පුරා කොරෝනා ආසාදිතයන් 79 ලක්ෂ 96,887 ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව දැක්වෙන්නේ හාර ලක්ෂ 35, 667ක් ලෙසයි.
Share This Article