ලොවම කම්පා වූ පාස්කු ප්‍රහාරයට පෙර අනතුරු ඇගවීම් ලැබුණු බවට කොමිසමේදී හෙළිවෙයි
Friday, 12 June 2020 - 14:14 | Views - 857
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර දින ප්‍රහාරයක් එල්ලවිය හැකි  බවට නිශ්චිත තොරතුරු ලැබී තිබුණු බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා.

ඒ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඊයේ ලබාදුන් සාක්ෂි අනුවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පෙරවරු 10 සිට පස්වරු 7.10 පමණ වන තෙක් ඔහු සාක්ෂි ලබාදුන්නා.

මෙහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ තවුහිද් ජමාත් සංවිධානය ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට මීට පෙර තොරතුරු අනාවරණය වූයේද යන්නයි.

ඊට පිළිතුරු ලබා දෙමින් සාක්ෂිකරු කියා සිටියේ පසුගිය වසරේ අප්‍රේල් මස 20 වැනිදා පස්වරු 5.47 ට පමණ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගෙන් ඇමතුමක් ලැබුණු අතර, එහිදී පාස්කු ඉරිදා දින හෙට බැවින් ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් දේවස්ථානයේ ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලා සිටි බවයි.

එය එසේ සිදුකරන බව පවසා දුරකථනය විසන්ධි කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා.

පසුව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන එදින පස්වරු 5.55 ට පමණ ඇමතුමක් ලබා ගනිමින් මීට පෙර ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව දේවස්ථාන වලට සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් සිදුවිය හැකි බැවින් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසට ඉල්ලා සිටි බව ද සාක්ෂිකරු කියා සිටියා.

එමෙන්ම කල්මුණේ සිදුවූ යතුරුපැදි පුපුරුවා හැරීම, පෙරහුරුවක් ලෙස සිදුකළ බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවද, ඒ මොහොතේදී නිලන්ත ජයවර්ධන සඳහන් කළ බව සාක්ෂිකරු පැවසුවා.

ත්‍රස්ත සංවිධානයක් සාක්ෂි ඉතිරි කරමින් එලෙස පුපුරුවා හැරීමක් සිදුකරන්නේද යන්න තමන් නිලන්ත ජයවර්ධනගෙන් විමසා සිටි බවත්, එහිදී ඔහු සඳහන් කළේ ඒ සියලු පරීක්ෂණ සිදුකළ බවත් 21 වැනිදා ප්‍රහාරය විය හැකි බවට පොලිස්පති දැනුවත් කළ බවයි.

කතෝලික දේවස්ථානවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට නිලන්ත ජයවර්ධන විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව පැවසුවේද යන්න එවිට කොමිසම විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදුන් සාක්ෂිකරු සඳහන් කළේ කතෝලික දේවස්ථානවලට 21 වැනිදා ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි.

පසුව කොමිසම විමසා සිටියේ එහිදී කාදිනල් හිමියන්ව දැනුවත් කිරීමට කටයුතු නොකළේ මන්ද යන්නයි.

සාක්ෂිකරු පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ තමන් එලෙස දැනුම්දීමක් සිදු නොකළ බවයි.

පසුව කොමිසම විමසා සිටියේ 21 වැනිදා ප්‍රහාරය දැනුවත් වූ පසු එය වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.

21 වැනිදා ප්‍රහාරයක් සිදුවිය හැකි බවට තමා යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් 04 දෙනා දැනුවත් කළ බව සාක්ෂිකරු සඳහන් කළා.

ඒ අතරතුර පොලිස්පතිවරයා තමන්ට ඇමතුමක් ලබාදී නිලන්තගේන පණිවුඩයක් ලැබුණේද යන්න විමසා සිටි බවත්, එය ඔව් යනුවෙන් තමන් පිළිතුරු දුන් බවත් සාක්ෂිකරු කොමිසමට සඳහන් කළා.

21 වැනිදා උදෑසන 8.29 ට ප්‍රහාරය සිදුවීමට පෙර නිලන්ත යළිත් දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඩියුටි දාලාද තියෙන්නේ යනුවෙන් විමසා සිටි අතර, මෙතෝදිස්ත පල්ලි කොහේද තියෙන්නේ යනුවෙන් විමසූ බව සාක්ෂිකරු සඳහන් කළා.

එයට පිළිතුරු ලබා දෙමින් ඩියුටි දාලා තියෙන්නේ යනුවෙන් සඳහන් කළ අතර මෙතෝදිස්ත පල්ලියක් කොහේද යන්න තමන් නොදන්නා බව සඳහන් කළා.

පසුව ලලිත් පතිනායක ගෙන් විමසා, කොල්ලුපිටියේ මොතෝදිස්ත පල්ලියක් තිබෙන බවට සදහන් කළා.

එවිට නිලන්ත ජයවර්ධන කියා සිටියේ එම පල්ලියට ප්‍රහාරයක් එල්ල වන බවයි.

එම ප්‍රකාශයත් සමඟ තමන් කොල්ලුපිටිය දේවස්ථානයට ආරක්ෂාව ලබා දෙන ලෙස දැනුම් දුන්නා යනුවෙන් සාක්ෂිකරු කොමිසමට සඳහන් කළා.

පසුව නැවතත් නිලන්ත දුරකථන ඇමතුමක් ලබාදී විමසා සිටියේ මෙම දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව කුමක්ද යන්නයි.

පල්ලියේ උද්ඝෝෂණයක් පැවති බවත් දැනට පල්ලියේ ආරක්ෂාව ලබා දෙන්න යනුවෙන් නන්දන මුණසිංහ සදහන් කළ බව සාක්ෂිකරු සඳහන් කළා.

කොටහේන ග්‍රෑන්ඩ්පාස්වල පිහිටි දේවස්ථාන දෙකකට ඉක්මනින් ආරක්ෂාව ලබාදෙන ලෙස නිලන්ත ජයවර්ධන තමන්ට යළි ඇමතුමක්දී සඳහන් කළ බව සාක්ෂිකරු කොමිසමට අනාවරණ කළා.

පසුව ඒ බව නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකව දැනුවත් කළ බවයි සාක්ෂිකරු කියා සිටියේ.

දේවස්ථානවලට ප්‍රහාර එල්ලවන බවට සඳහන් වනවිටත් දේව මෙහෙයන් පැවැත්වීම වැළැක්වීමට කටයුතු නොකළේ මන්ද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා.

ඒ මොහොතේ දේව මෙහෙයන් නැවැත්වීමට කටයුතු කළා නම්, හොඳ බව තමන්ට දැන් වැටහුණද ඒ මොහොතේ ප්‍රහාරයක් සිදු නොවුණේ නම් පාස්කු දේව මෙහෙය කඩාකප්පල් කිරීම පිළිබඳව චෝදනා එල්ලවන බවත්, එම තීරණය තමන්ට ගැනීමට නොහැකි බවත්, ඒ සඳහා ඉහළ නිලධාරීන් සිටින බව සාක්ෂිකරු සඳහන් කළා.

ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණයක් සිදුකරන්න සූදානම් වනවිට පොලිසිය අධිකරණ නියෝග ගෙන ඊට මැදිහත් වෙනවා.

ඇයි මෙයට එවන් ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වූයේ යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා.

කලින් දවසේ නිලන්ත ජයවර්ධන පැහැදිලිවම සඳහන් කළා, මේ සිද්ධිය පොලිස්පති දැනුවත් බවට එය සිදුකළ යුත්තේ පොලිස්පති බව සාක්ෂිකරු සදහන් කළා.

මේ අතර, ඊයේ රාත්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණද සාක්ෂි ලබාදුන්නා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top