ත්‍රීරෝද රථ සංගම් සභාපති ඝාතනය අස්සේ අදාළ ලීසිං සමාගම සහ හිමිකරු ගැන පොලිසිය ගත් තීරණය
Friday, 12 June 2020 - 8:57 | Views - 1,524

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ලීසිං සහ ණය පහසුකම් ලබාදෙන පෞද්ගලික ආයතනය සහ එහි හිමිකරු සම්බන්ධයෙන්ද පොලීසිය වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අදාළ ආයතනයේ හිමිකරු විසින් නියෝග ලබාදුන් ආකාරය ආදී කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමටයි පොලිසිය තීරණය කර ඇත්තේ.
හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ වැඩිදුර සොයා බැලීමකදී අනාවරණ වූයේ මිරිහාන ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම ලීසිං ආයතනයේ ශාඛා පිහිටා තිබුණ ද, ඔවුන් මහ බැංකුවේ ලියාපදිංචියද ලබාගෙන නොමැති බවයි.
ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළේ.
සුනිල් ජයවර්ධනට මිරිහාන ප්‍රදේශයේදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබුණේ පෙරේදා දිනයේයී.
තම සංගමයට අයත් ත්‍රීරෝද රථ හිමියෙකුගේ රථයක් කල්බදු සමාගමකින් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදීයි එම සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම පහරදීම සිදුකර තිබුණේ.
මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ත්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධනගේ පවුලේ සාමාජිකයින්ට බලවත් ශෝකය ප්‍රකාශ කළා.
එමෙන්ම, ඝාතනය ගැන පරීක්ෂණ සිදුකර වරදකරුවන්ට දඬුවම් ලබාදෙනවා සේම කල්බදු භාණ්ඩ අත්පත් කර ගැනීමේ සමාගම් නියාමනය කිරීමද කළ යුතු බවටයි හිටපු මන්ත්‍රීවරයා එම ට්වීටර් පණිවුඩයෙන් අවධාරණය කර ඇත්තේ.
සාධාරණ සමාජයක නීතිය අතට ගෙන ක්‍රියාකිරීමට කිසිවෙකුටත් නොහැකි බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
Share This Article