"අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම" දෙන්න කියලා, අරලියගහ මන්දිරයට ලැබුණු ලිපියේ තිබුණු දේ
රුපියල් 5000 ක නෝට්ටුවක් ඇතුළත් කළ ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත, ලැබී තිබෙනවා. එය එවා තිබුණේ පොළොන්නරුව - මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි වියේ පසුවන එස්.බී.හේවාහැට නම් හිටපු ගම්සභා සභිකයෙක්.
‘‘අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම’’ යනුවෙන් සඳහන් කර ඊයේ අරලියගහ මන්දිරයට ලැබුණු අදාළ ලිපිය ආරක්ෂක නිලධාරින් විසින් අග්‍රාමාත්‍යවරයා අතට ගෙනවිත් භාර දී තිබෙනවා.
එහි ලිපියක් මෙන්ම, රුපියල් 5000 ක නෝට්ටුවක් ද තිබී ඇති අතර, අදාළ ලිපියේ මෙලෙස සටහන්ව තිබූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.
‘‘මම දැනට 86 වැනි වියේ පසුවන අයෙකි. මට ඇවිදින්නට බැරිය. රෝගීව ඇඳේ සිට ලියමි. උදා වී ඇති භයානක අවස්ථාවේ රටේ ආර්ථිකය බිඳ වැටී තිබියදී ජනතාව ජිවත් කරවීමට දෙන ආධාර ක්‍රමය මවිතයට කරුණකි. කෙසේ වෙතත්, කොරෝනා අරමුදලට මේ මස රුපියල් 5000 බැර කර මම ද එම පිංකමට සහභාගි කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ කළ උදව් උපකාර අමතක නොකරමි.’’
ඒ අනුව, ලිපිය කියවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැදිරිගිරියේ සිට රුපියල් 5000 එවූ හිටපු ගම්සභික එස්.බී. හේවාහැට අතින් එම මුදල ජනාධිපතිවරයා අතට පත් කිරීමට තීරණය කළා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය දා, එම කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ.
මේ අතර, එම ලිපිය සම්බන්ධයෙන් අගමැතිවරයා සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා තිබුණා.
එම සටහන පහතින්..
දයාබර එස් බී හේවාහැට මහතා වෙතටයි,
ඔබ ශ්‍රී ලාංකීය අභිමානවත් පුරවැසියකු ලෙස මා කරනා සේවය අගය කිරීම පිළිබඳව මා ඔබට බෙහෙවින් ස්තුති වන්ත වන අතරම, රට තුල පවතින COVID -19 ව්‍යවසනයෙන් රට මුදවා ගැනීමට ගොඩ නගා ඇති “ඉටුකම“ අරමුදලට ඔබ කල අමිල පරිත්‍යාගය මා පළමුව කෘතඥය පුර්වක සිහි කරමි.
රටේ අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත හා සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීම අපගේ පරම යුතුකම හා එකම අභිලාෂය වන අතර ඔබ ද යහපත් පුරවැසියකු ලෙස මෙලෙස අනාගත පරපුර ගැන සිතීමද අපට මහත් අභිමානයකි.
අප සැම එකමුතුව අභිමානවත් දේශයක් ගොඩනගමු. ඔබට තෙරුවන් සරණයි!

